27 April 2024
#දේශීය

මහ බැංකු අධිපති කතා කරන්නේ පොහොට්ටුවේ සභාපති වගේ – ආචාර්ය හර්ෂ ද සිල්වා

රටක මහ බැංකුවක් ස්වාධීන විය යුතු බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රටේ ඩොලර් ප්‍රශ්නයක් නැතැයි කියමින් දේශපාලකයෙකු මෙන් හැසිරෙමින් ජනතාව ඇන්දවීමට ගන්නා පහත් උත්සාහය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (09) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඒ මහතා පැවසුවේ අපිට ඩොලර් ප්‍රශ්නයක් නැතැයි මහ බැංකු අධිපතිවරයා කර තිබෙන ප්‍රකාශය වාර්තා කර තිබෙන පුවත්පත් වලම ඔහුට උපහාසයට මෙන් “වරායේ හිරවූ කන්ටේනර් මුදාගන්න ඩොලර් නෑ, “ඩොලර් නැති නිසා සමහර බෙහෙත් ගේන්න විදිහක් නෑ, “එදාවේල පිරිමහගන්න මහ බැංකුව රන් සංචිත විකුණයි, වැනි ප්‍රවෘත්තිද වාර්තා කර තිබෙන බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා දේශපාලනය නොකර රට මුහුණ දෙමින් තිබෙන සැබෑ විදේශ විනිමය අර්බුදය පිළිබඳව රටට හෙළිකළ යුතු බවත් නොමැති නම් ශ්‍රී ලංකා මහ බැංකුවට ජාත්‍යන්තරයේ තිබෙන පිළිගැනීම පවා හෑල්ලුවට ලක්වන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

පෙබරවාරි 09 වනදාට සහ පෙබරවාරි 17 වනදාට ශ්‍රී ලංකා මහ බැංකුවට ඩොලර් මිලියන 250 ක පමණ ණය ගෙවීමට තිබෙන බවත් 2022 ජනවාරි මාසය අවසන් වනවිට මහ බැංකුව සතුව සැබෑ ලෙස තිබෙන්නේ ඩොලර් මිලියන 700 ක පමණ විදේශ සංචිතයක් පමණක් බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා මෙහිදී අනාවරණය කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *