27 April 2024
#දේශීය

මම වැඩ කරන්නේ මගේ ක්‍රමයටයි – ජනපති ගෝඨා දික්ඇල්ලකන්දේදී කියයි

ජනතාව අතරට පැමිණ ගැටළු විසඳීම දේශපාලන නාට්‍යයක් හෝ මාධ්‍ය සංදර්ශනයක් හෝ නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (06) පෙරවරුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දික්ඇල්ලකන්ද ග්‍රාමනිලධාරී වසමේ, දික්ඇල්ලකන්ද කණිෂ්ඨ විද්‍යාල භූමියේ පැවති “ගම සමග පිළිසඳර” නව වැනි වැඩසටහනට සහභාගීවෙමිනි.

එහිදී ජනාධිපතිවරයා මෙසේ අදහස් පල කළේය “ ඊළග ජනාධිපතිවරණයට තවත් වසර හතරකට ආසන්න කාලයක් තිබේ. ගමට යන්නේ බලයේ සිට කළයුතු මෙහෙවර ඉටුකරන්න. විපක්ෂයේදී පැමිණියත්, ජනතා ගැටළු විසඳමින් දුෂ්කර ගම්මාන වෙත ගිය වෙනත් ජනාධිපතිවරයෙකු නැත. කොළඹ සිටිමින් නිලධාරීන්ගෙන් පමණක් විමසා ජනතා ගැටළු හදුනා ගැනීම මගේ ක්‍රමය නොවෙයි. කවරකු මේ ක්‍රමය විවේචනය කළ ද “ මම මගේ ක්‍රමයට වැඩ කරනවා. ජනතාව අතරට ගොස් වැඩකරලයි මම ජනාධිපති වුණේ. වැඩ කිරීමෙන් පමණයි ජනතා නායකයෙක් විය හැක්කේ” එබැවින් ජනතාව අතරට ගොස් වැඩ කරන ලෙස ජනාධිපතිතුමා තරුණ මහජන නියෝජිතයින්ට උපදෙස් දෙයි. ජනතා ගැටළු විසඳීමට ගත් තීන්දු දඩමීමා කරගෙන යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් නීති විරෝධි ක්‍රියාවන්හි නිරත වන්නේ නම් ඔවුන්ට දැඩිව නීතිමය පියවර ගන්නා බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

පාරම්පරිකව වගා කළ ඉඩම්වල වගා අයිතිය ගොවියාට දීමට තීරණය කෙරිණ. එය ප්‍රයෝජනයට ගෙන පරිසරයට හා වන රක්ෂිතයට හානිවන අයුරින් පිරිසක් ක්‍රියාකරමින් සිටින බව අනාවරණය වී ඇතැයි ජනාධිපතිවරයා පවසයි. ස්වභාවධර්මයේ ශක්තිය මිනිසාගේ උන්නතියට පාවිච්චි කළ යුතුය. ආර්ථිකය ශක්තිමත් නොකර ජාතිකත්වය රැකිය නොහැකි බවත්, කෘෂිකර්මාන්තය පදනම් කරගත් ජාතික ආර්ථිකයක් ගොඩනැගීම රජයේ අරමුණ බවත් ජනාධිපතිවරයා පැවසීය.

සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, රාජ්‍ය අමාත්‍යවරුන් වන කනක හේරත්, තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් සියඹලාපිටිය, සුදත් මංජුල, සාරතී දුෂ්මන්ත, රාජිකා වික්‍රමසිංහ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහු සහ දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයන්, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන හා ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුළු පිරිසක් දික්ඇල්ලකන්ද කණිෂ්ඨ විද්‍යාල භූමියේ පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්ව සිටියහ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *