2028 ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සම-සත්කාරකත්වය දරන 20 වැනි පිරිමි T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නව ආකෘතියක් ICC විසින් හඳුන්වා දී ඇත. නැගී එන ක්‍රිකට් රටවලට වැඩි අවස්ථාවන් ලබාදීම සහ තරගාවලියේ අවසාන අදියරවල තරගකාරීත්වය ඉහළ නැංවීම මෙම නව ආකෘතියේ ප්‍රධාන අරමුණයි.
පළමු වටය (Group Stage): කණ්ඩායම් 20ක් කණ්ඩායම් 4 බැගින් වූ කාණ්ඩ 5කට බෙදේ. සෑම කාණ්ඩයකම ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක ‘Super 10’ වටයට සුදුසුකම් ලබයි. (මෙය මීට පෙර පැවැති කණ්ඩායම් 5 බැගින් වූ කාණ්ඩ 4ක ආකෘතිය වෙනුවට හඳුන්වා දී ඇත.)
Super 10 වටය: කණ්ඩායම් 5 බැගින් වූ කාණ්ඩ දෙකක් යටතේ රවුන්ඩ් රොබින් (Round Robin) ක්‍රමයට තරග පැවැත්වේ. එක් එක් කාණ්ඩයේ ජයග්‍රාහකයින් සෘජුවම අවසන් පූර්ව වටයට පිවිසේ.
අලිමිනේටර් (Eliminators) වටය: සෙසු අවසන් පූර්ව වටයේ ස්ථාන දෙක තීරණය වන්නේ මෙම නව වටයෙනි. Super 10 කාණ්ඩවල දෙවන ස්ථානයට පත්වන කණ්ඩායම්, අනෙක් කාණ්ඩයේ තුන්වන ස්ථානයට පත්වන කණ්ඩායම් සමඟ තරග වදී. මෙහි ජයග්‍රාහකයින් සෙසු අවසන් පූර්ව වටයේ ස්ථාන හිමිකර ගනී.
අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරගය පවතින ආකෘතියෙන්ම පැවැත්වේ.
2026 ලෝක කුසලානයේ දැක්වූ දක්ෂතා සහ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, නවසීලන්තය, පකිස්ථානය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ යන රටවල් දැනටමත් 2028 තරගාවලියට සුදුසුකම් ලබා ඇත.
2026 තරගාවලියට සහභාගී වී නමුත් සෘජු සුදුසුකම් නොලැබූ කැනඩාව, ඉතාලිය, නැමීබියාව, නේපාලය, නෙදර්ලන්තය, ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඇමෙරිකාව සෘජුවම ගෝලීය සුදුසුකම් ලැබීමේ තරගාවලියට (Global Qualifier) පිවිසේ. ස්කොට්ලන්තය සෘජුවම යුරෝපා කලාපීය අවසන් තරගයට පිවිසෙනු ඇත.
ගෝලීය සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා ඉතිරි ස්ථාන 8 කලාපීය සුදුසුකම් ලැබීමේ තරග හරහා තීරණය කෙරේ. මෙහිදී සෑම කලාපයකින්ම ඉහළම දක්ෂතා දක්වන කණ්ඩායම බැගින් සහ සමස්තයක් ලෙස ඉහළම දක්ෂතා දක්වන තවත් කණ්ඩායම් තුනක් 2028 ලෝක කුසලානය සඳහා එක්වනු ඇත.
මෙම නව ආකෘතිය ICC සංවර්ධන කමිටුවේ සහ විධායක නිලධාරීන්ගේ කමිටුවේ නිර්දේශ මත අනුමත වී ඇති අතර, නොවැම්බර් මාසයේදී ICC මූල්‍ය හා වාණිජ කටයුතු කමිටුවේ සමාලෝචනයෙන් පසු අවසන් අනුමැතිය ලබා ගැනීමට නියමිතය.














