ඉරානයේ ප්‍රහාර මාලාවක් හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා සඳහා ඇමෙරිකානු හමුදාව ලබාදෙන ආරක්ෂිත ගමන් මාර්ග සැලැස්ම (U.S. military-guided transit scheme) භාවිතා කිරීම ප්‍රතික්ෂේප කිරීමට ප්‍රධාන පෙළේ නෞකා සමාගම් පියවර ගෙන තිබේ. මෙම ප්‍රහාර හේතුවෙන් නාවික හා නෞකා ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැඩි ආරක්ෂක අවිනිශ්චිතතාවයක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජූලි 7 වන දින සිට ඔමාන් මුහුදු තීරයේදී නෞකා 5ක් ප්‍රහාරයට ලක්ව ඇති අතර, ඉන් තුනක් බොරතෙල් සුපිරි ටැංකි (Super tankers) සහ එකක් ද්‍රවීකෘත ස්වාභාවික වායු (LNG) ප්‍රවාහන නෞකාවකි. ඇමෙරිකානු හමුදාව මගින් මගපෙන්වීම් ලබාදෙන මෙම මාර්ගය ද මේ වන විට අතිශය අනතුරුදායක බවට නෞකා සමාගම් ඇගයීමට ලක් කර ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් නෞකා සමාගම් පවසන්නේ, තම කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහ කලාපයේ පවතින බරපතළ ආරක්ෂක අවදානම හේතුවෙන් මෙම මාර්ගය හරහා නෞකා යාත්‍රා නොකිරීමට තීරණය කර ඇති බවයි. ඇමෙරිකාව විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය “විවෘත” බව ප්‍රකාශ කළද, එහි යථාර්ථය ආරක්ෂිත නොවන බවට නාවික ආරක්ෂක සමාගම් පෙන්වා දෙයි. මේ අතර, පසුගිය සතියේ ග්‍රීක සමාගම් විසින් ක්‍රියාත්මක කරන ලද LNG ටැංකි 9ක් පමණ ආරක්ෂක හේතූන් මත හෝමූස් සමුද්‍ර සන්ධිය තුළ සිරවී ඇති බවද වාර්තා වේ.
ඇමෙරිකානු හමුදා ප්‍රකාශකයෙකු සඳහන් කළේ පසුගිය දින හත තුළ නෞකා 100කට අධික සංඛ්‍යාවක් තමන් සමඟ සම්බන්ධ වී ආරක්ෂිතව ගමන් කර ඇති බවයි. කෙසේ වෙතත්, ඉරානය යේමනයේ හුති සටන්කාමීන් යොදාගෙන රතු මුහුදට පිවිසෙන ‘බාබ් එල්-මැන්ඩෙබ්’ (Bab el-Mandeb) සමුද්‍ර සන්ධියද වසා දැමීමට ඉඩ ඇති බවට බියක් පවතින අතර, මෙය ගෝලීය නාවික ගමනාගමනයට දැඩි තර්ජනයක් වී තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















