ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ජේ ශා (Jay Shah) සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ලේකම් දේවාජිත් සයිකියා (Devajit Saikia) යන මහත්වරුන් ඇතුළු දූත පිරිස අද (19) කොළඹදී ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවක නිරත වී තිබේ. කෙටි සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මෙම පිරිස සමඟ පැවැති හමුවේදී ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ වත්මන් තත්ත්වය සහ පාලන සංක්‍රාන්ති ක්‍රියාවලිය අධීක්ෂණය සඳහා පත්කර ඇති කමිටුවේ ප්‍රගතිය පිළිබඳව අවධානය යොමු කෙරිණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ දිගුකාලීන ස්ථාවරත්වයක් සහ යහපාලනයක් තහවුරු කිරීම වෙනුවෙන් සිදුකෙරෙන ව්‍යවස්ථාපිත හා පරිපාලනමය ප්‍රතිසංස්කරණවල වත්මන් තත්ත්වය පිළිබඳව දූත පිරිස වෙත පුළුල් පැහැදිලි කිරීමක් සිදුකර ඇති අතර, අදාළ නීතිමය රාමුවට අනුකූලව ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වන පරිපාලනයකට නැවත බලය පැවරීමට අපේක්ෂිත කාලසීමාවන් ද මෙහිදී ICC සභාපතිවරයා වෙත දැනුම් දී ඇත. ශ්‍රී ලංකාව ලබාදුන් මෙම පැහැදිලි කිරීම් සහ ප්‍රගතිය අගය කර ඇති ICC සභාපති ජේ ශා මහතා, සාමාජික රටවල ක්‍රිකට් පාලක මණ්ඩල තුළ යහපාලනය සහ විනිවිදභාවය ඇති කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අඛණ්ඩ සහයෝගය හිමිවන බව ද අවධාරණය කළේය.
















