ලෝකයේ වෙසෙන සියලුම කාන්තා ක්‍රීඩිකාවන්ගේ සුභසාධනය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් “ගර්භණී සමයෙන් පසු නැවත ක්‍රීඩාවට පිවිසීමේ” (Return to play post-pregnancy) විශේෂ ජාත්‍යන්තර මාර්ගෝපදේශ මාලාවක් අද (ජූනි 22) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. වර්තමානයේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වෘත්තීය මට්ටමින් ඉහළ යෑමත් සමඟ, ක්‍රීඩිකාවන්ට තම ක්‍රීඩා ජීවිතය අතරතුරදීම පවුල් ජීවිතය ආරම්භ කර, දරුවන් බිහි කිරීමෙන් පසු නැවතත් දක්ෂතා අතරට පැමිණීමට සහය වීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණයි. ඒ අනුව, ක්‍රීඩිකාවන්ට සුරක්ෂිතව නැවත පිටියට පිවිසීම සඳහා Ready, Review, Restore, Recondition, Return සහ Refine යන අදියර 6කින් යුත් “6 Rs” නම් විශේෂ විද්‍යාත්මක රාමු පද්ධතියක් ද මේ යටතේ හඳුන්වා දී තිබෙනවා.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ වෛද්‍ය ආචාර්ය පිලිප්පා ඉන්ගේ (Dr. Philippa Inge) ගේ මෙහෙයවීමෙන් සකස් වූ මෙම මාර්ගෝපදේශ මඟින් ක්‍රීඩිකාවන්ගේ ශාරීරික හා මානසික සුවතාව, නම්‍යශීලී පුහුණු පරිශ්‍ර, ක්‍රීඩාංගණ තුළ දරුවන් පෝෂණය කිරීමට සහ රැකබලා ගැනීමට ඇති පහසුකම් මෙන්ම සංචාරක සහාය පිළිබඳව ද අවධානය යොමු කර තිබෙනවා. 2021 වසරේ දරුවෙකු බිහි කර, වර්තමාන 2026 ICC ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකා අෆී ෆ්ලෙචර් (Afy Fletcher) ප්‍රකාශ කළේ, මව් පදවියෙන් පසු මානසිකව සහ ශාරීරිකව නැවත පැමිණීම අභියෝගයක් වුවද, ICC ය ගත් මෙම තීරණය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට හේතු වන බවයි. කිසිදු ක්‍රීඩිකාවකට මව් පදවිය සහ රට නියෝජනය කිරීම යන දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදු නොවිය යුතු බව අවධාරණය කළ ICC සභාපති ජේ ෂා (Jay Shah) මහතා, මෙමඟින් ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ කාන්තාවන්ට වඩාත් සුරක්ෂිත සහ සර්වපාක්ෂික වටපිටාවක් නිර්මාණය වන බව ද පෙන්වා දුන්නා.
















