ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) විධායක අධ්‍යක්ෂ ෆාති බිරෝල් ලෝක ආර්ථිකය පිළිබඳ බරපතල අනාවැකියක් පළ කර තිබේ. වත්මන් මැදපෙරදිග යුද්ධයේ බරපතලකම තවමත් වෙළඳපොළ මිල ගණන්වලින් නිවැරදිව පිළිඹිබු නොවන බවත්, ඉදිරියේදී තත්ත්වය මීට වඩා බොහෝ සෙයින් නරක අතට හැරෙනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි. බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරන්නේ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හෝමුස් සමුද්‍ර සන්ධියට පනවා ඇති නාවික අවහිරතාවය වෙළඳපොළවල් සන්සුන් කිරීමට කිසිසේත්ම උපකාරී නොවන බවයි. මෙම තත්ත්වය පිළිබඳව ෆාති බිරෝල් පවසන්නේ වත්මන් අර්බුදය 1970 දශකයේ ඇති වූ තෙල් අර්බුදයටත් වඩා දරුණු විය හැකි බවයි.
හෝමුස් සමුද්‍ර සන්ධියේ අවහිරතාවය හමුවේ බ්‍රෙන්ට් බොරතෙල් මිල දැනටමත් බැරලයක් ඩොලර් 100 සීමාව පසුකර ඇති අතර, එය තවදුරටත් ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවේ. දිනකට තෙල් බැරල් මිලියන 12-13ක් පමණ සැපයුම අහිමි වී ඇති අතර, මෙය ලෝක බලශක්ති ඉතිහාසයේ දරුණුතම සැපයුම් බිඳවැටීම ලෙස සැලකේ. අප්‍රේල් මාසය බලශක්ති වෙළඳපොළට ඉතා අසීරු කාල පරිච්ඡේදයක් වන “කළු අප්‍රේල්” මාසයක් වනු ඇති බවට ද IEA ප්‍රධානියා ඉඟි කර ඇත. IEA සංවිධානය විසින් වෙළඳපොළ ස්ථාවර කිරීම සඳහා ඓතිහාසික ලෙස තෙල් බැරල් මිලියන 400ක සංචිත මුදා හැරීමට පියවර ගෙන තිබුණ ද, හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත නොවන තාක් කල් එමගින් ස්ථිර විසඳුමක් නොලැබෙන බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Bloomberg සහ Reuters ඇසුරින්














