දේශපාලනයට වඩා අපි හැමෝම එකතු වෙලා වගකීම් ටික භාර ගත්තොත්, එක එක්කෙනාට ඇඟිල්ල දික් කරන එක පැත්තකින් තියලා තම තමන්, තම තමන්ගේ යුතුකම ඉෂ්ඨ කලොත් අපිට මේ රට ඉහළට ඔසවාගන්න පුලුවන්කම තියෙනවා යැයි හිටපු අමාත්‍යය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.
කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ලෝක බැංකු ව්‍යාපෘතියක් වන SAPP හෙවත් කුඩා පරිමාණයේ කෘෂි ව්‍යාපෘතිය පිළිබඳ අංශය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනය ගොවිජන සේවා බල ප්‍රදේශයේ බඩ ඉරඟු ගොවීන් වෙත බහුකාර්ය කෘෂි උපකරණ කට්ටල ප්‍රදානය කිරීම හිටපු අමාත්‍යය, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම එක් උපකරණ කට්ටලයක් වර්තමාන මිල යටතේ රුපියල් 110,000ක් පමණ වේ. මෙම බහුකාර්ය කෘෂි උපකරණ කට්ටල සියල්ල SAP-P ව්‍යාපෘතිය විසින් නොමිලයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් 5000 කට ලබා දීමට පියවර ගෙන තිබේ.ඒ යටතේ තිරප්පනය ගොවිජන සේවා බලප්‍රදේශයේ ගොවීන් 50 දෙනෙකු වෙත බහුකාර්ය කෘෂි උපකරණ කට්ටල නොමිලේ බෙදා දීම මෙහිදී සිදු කෙරිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක මහතා ” මේ දවස් වල හැමදේටම බනින්නේ දේශපාලඥයොන්ට, හැබැයි දේශපාලඥයින්ට බැන්නට උඩ ඉඳන්, පහළට ගත්තාම අපි හැමෝගෙම අඩුපාඩු, වැරදි, ප්‍රශ්න තියෙනවා.හැමතැනම මේ අඩුපාඩු තියෙනවා.ඉහළ ඉඳන් පහළට තියෙන මේ අඩුපාඩු දැන් අපි ලිහාගන්න ඔ්න, වැරදි සේරම හදන්න ඔ්න, දේශපාලඥයොන්ට බැන්නට, ආණ්ඩුවට බැන්නට විතරක් මේ වරද හරියන්නේ නෑ, අපි හැමෝම තම තමන්ගේ අඩුව හදාගන්න ඔ්නකම තියෙනවා. දැන් මේ බෙදන බඩු වල වටිනාකම රුපියල් ලක්ෂයක් වෙනවා, මීට කලින් තෙල් ඉසින යන්ත්‍රයක් දුන්නා, තව ආධාර රැසක් කළා.මේ දෙන බඩු වල සල්ලි දුමින්ද දිසානායකගේ සල්ලි නෙමෙයි, මගේ කාලේ මේ වැඩසටහන පටන් ගත්තා කියලා මේ මගේ සල්ලිද? එහෙම නැත්නම් දැන් ඉන්න ඇමතිතුමාගේ සල්ලිද? මේ සල්ලි කියන්නේ රට ණයට ගත්ත සල්ලි, ඔබතුමන්ලාට මේවා නිකං දුන්නාට රට ණය වෙලා තමයි මේවා දෙන්නේ.මිලියන 22 ක ජනතාව ණය වෙලා තමයි ඔබතුමන්ලාට මේ නිකං දෙන ලක්ෂ 1 1/2 ක විතර බඩු දෙන්නේ.රට ණය කරා කියලා අපි කිව්වට, රට ණය කරන්න කවුද දායක වෙලා තියෙන්නේ.ඔබතුමන්ලාත් දායක වෙලා තියෙනවා.හැබැයි හරි දේට ණය වුණොත් ඒකේ වාසියක් තියෙනවා, වැරදි දේකට ණය වුණොත් රටට පාඩුවක්, හරි දේටයි, වැරදි දේටයි හැමදේටම ණය වුණ නිසා තමයි අද අපි ණයකාරයෝ බවට පත් වෙලා දැන් ආයේ ණයක්වත් ගන්න බැරිව බොහෝම අමාරුවේ, අන්ත අසරණ තත්වයකට පත් වෙලා ඉන්නේ.මේවාට අපි එක්කෙනෙකුට දෙන්නෙකුට ඇඟිල්ල දික් කළාට හරියන්නේ නෑ, අපි හැමෝම මේකේ කොටස්කාරයෝ පංගුකාරයෝ ඒ නිසා තමයි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට හැමදාම කියන්නේ මේ රටට වැරද්දුවේ කවුද කියලා ඇහුවොත්, එක්කෙනෙකුට – දෙන්නෙකුට ඇඟිල්ල දිගු කරනවාට වඩා අපි හැමෝම එකතු වෙලා උත්තර හොයන එක තමයි අපි කරන්න ඔ්නකම තියෙන්නේ.අපි හැමෝම යම් තරමකින් හෝ මේ රට ණය කරන්න දායක වෙලා තියෙනවා.ඒක දේශපාලන අධිකාරිය වෙන්න පුලුවන්, නිළධාරී මට්ටමින් වෙන්න පුලුවන්, ජනතාව වෙන්න පුලුවන්, අපි හැමෝම මේකට දායක වෙලා තියෙනවා යම් තරමකින්.
හැබැයි අපි බොහෝම ආසයි, අපි ගැලවිලා වෙන කෙනෙකුට ඇඟිල්ල දිගු කරන්න.ඇයි බොහෝම ලේසියිනේ, අපි නම් කිසි දෙයක් කරලා නෑ, අහවල්ලු තමයි මේක කරලා තියෙන්‌නේ කියලා බොහෝම ලස්සනට බේරෙන්න අපි හැමෝම දන්නවා.හැබැයි රටේ මීනිස්සු දන්නවා නම් , මේ ලක්ෂ එක හමාර ගානේ ගොවියෝ 5000 කට දෙන්න කීයක් යනවාද? මේ මුදල දරන්න ඔ්න දෙයක්ද? සමහරුන්ට ඒක දැරිය යුතු නැති මුදලක්, හැබැයි අපි දන්නවා මේ ව්‍යාපෘති පටන් ගත්තේ, ගොවියාගේ ආදායම වැඩි කරන්න.නිෂ්පාදන වියදම අඩු කරන්න.නිෂ්පාදන වියදම අඩු කලොත් තමයි, ලාභය වැඩි වෙන්නේ.එහෙම නැත්නම් හැමදාමත් මිළ වැඩි කරන්න කියනවා, ආණ්ඩුවට බනිනවා, කණ-කර සින්න වුණා කියනවා, වහබොන්න වෙනවා කියනවා.මේ එකක්වත් කිව්වට වැඩක් නෑ, උත්තර හොයන්න ඔ්න, උත්තරය තමයි අපි නිෂ්පාදන වියදම අඩු කරලා දෙන්න ඔ්න, නිෂ්පාදන වියදම අඩු කරන්න බීජ දුන්නා, හාගන්න මුදල් දුන්නා, තෙල් ඉසින යන්ත්‍ර දුන්නා, දැන් බහුකාර්ය උපකරණයක් දෙනවා.මේවාත් අරගෙන ගොවියට පාඩුයි කියන්න පුලුවන්ද? වෙන බඩඉරඟු ගොවියකුට පාඩුයි කියන්න පුලුවන්, හැබැයි මේ ගොවීන් 5000ට පාඩුයි කියන්න බෑ.
දැන් මේ ව්‍යාපෘතිය භාර නිළධාරීන්ටත් වගකීමක් තියෙනවා.බඩු ටික බෙදුවා දැන් හරි කියලා ඉඳලා හරියන්නේ නෑ,මේ දුන්න ගොවියෝ මේවා භාවිතා කරලා මේ වගාවන් කරනවාද කියලා බලන එකේ වගකීම තියෙන්නේ රජයේ නිළධාරීන්ට.එහෙම නැති වුණොත් දෙකෝටියක් ජනතාව එක එක්කෙනාට බැන්නට ණය වුණා කියලා, ඒකෙන් කොටසක් ඔබතුමන්ලාටත් වදිනවා.ණය වල හරි ප්‍රයෝජනය රටට අරන් දුන්නේ නැත්නම් මේ රටට ඔබත් වැරදි කාරයෙක් වෙනවා.
අපේ අයට නිකං දෙනවා නම් දෙමළ පත්තරයත් ගන්නවානේ, මට මතකයි මගේ තාත්තා ඉන්නකොට ජන සහන සේවය කළා, අපි පැළ බෙදන කොට, අපේ අත් හූරගෙන පැළ පොරකාලා මිනිස්සු ගන්නවා, ඒ බෙදපු බෙදිල්ලට, ඒවා පොරකාලා ගත්ත ගැනිල්ලට පැල හිටෙව්වා නම් මුළු අනුරාධපුරයම කැළයක් වෙන්න ඔ්න.හැබැයි අපි ජනසහන සේවය ඉවර වෙලා යන කොට අපි දැක්කා අර පොරකාලා ගත්ත පැළ ටික අනේ බස් ස්ටෑන්ඩ් වල, ලයිට් කණු ගාව තියෙනවා ගෙනියන්න බැරිව.ඒ වගේ අපි කරපු වැරදි ගොඩක් තියෙනවා.ඒ නිසා මේ ව්‍යාපෘති හරහා තමන්ගේ පවුල ශක්තිමත් කර ගත්තොත්, තමන්ගේ ආදායම වැඩි කර ගත්තොත් තමන් ආදර්ශමත් වුණොත් අනෙක් අයත් හැදෙයි.ලක්ෂ එක හමාරක විතර බඩු අරගෙන ආයේ අතපාන්න එපා.අනුරාධපුරයේ මීනිස්සු අතපාන්න ඔ්න අය නෙමෙයි, රජවරුන් එකසයි ගණනක් රජකම් කරපු, අවුරුදු එක්දහස් ගණනක් අගනුවර වෙච්ච අනුරාධපුරයට අව්ව-වැස්ස තියෙනවා, අපිට කැත්ත – උදැල්ල හොඳට හුරුයි.අපි කාටවත් අතපාන්න ඔ්න නෑ,අපි මහන්සි වුණොත් අපිට හම්බ කරන්න පුලුවන්.ඒහෙම අතීතයක් තියෙන මිනිස්සු අපි.
දේශපාලනයට වඩා අපි හැමෝම එකතු වෙලා වගකීම් ටික භාර ගත්තොත්, එක එක්කෙනාට ඇඟිල්ල දික් කරන එක පැත්තකින් තියලා තම තමන්, තම තමන්ගේ යුතුකම ඉෂ්ඨ කලොත් අපිට මේ රට ඉහළට ඔසවාගන්න පුලුවන්කම තියෙනවා.සමහර වෙලාවට වැටුනම අපි භය වෙනවා, භය වෙන්නත් ඔ්න, හැබැයි එක පැත්තකින් වැටිල්ල, හොඳ අලුත් ආරම්භයක් කර ගන්න පුලුවන්කම තියෙනවා.ලංකාවේ අලුත් නිෂ්පාදන නෑ, අපි පිටරටින් ගෙනත් තමයි පාවිච්චි කළේ.හැබැයි අද අපිට ඩොලර් නැති නිසා හරි අපේ දෙයක් හදාගන්න පුලුවන් වෙලා තියෙනවා.මේ වගේ මහන්සි වුණොත් අපිට ගොඩඑන්න පුලුවන්කම තියෙනවා.හැබැයි ඒක හැමෝගෙම හදවතේ තියෙන්න ඔ්න, තමන්ගේ හදවතේ ඒක නැතිව අල්ලපු කෙනා කරයිද කියලා බල බල හිටියොත් නැගිටින්න බෑ, හැබැයි අනෙක් කෙනා නැගිට්ටත් එකයි, නැතත් එකයි අපි නැගිටිනවා කියලා නැගිට්ටොත් ඒක දැකලා අනෙක් අයත් නැගිටියි.මේ රට හදන්න නම්, අපි හැමෝම එකට එකතු වුණොත් තමයි මේ රට හදන්න පුලුවන්කම තියෙන්නේ, අපි රණ්ඩු වුණොත්, අපි ගහගත්තොත්, අපි ඇදගත්තොත්, අපි බෙදුනොත් මේ රට ගොඩගන්න පුලුවන්ද? අපි හැමොම් එකතු වුණොත් විතරයි මේ රට ඉස්සරහට ගෙනියන්න පුලුවන්කම තියෙන්නේ යැයි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
මෙම අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, කුඩා පරිමාණයේ කෘෂි ව්‍යාපෘතිය පිළිබඳ අංශ නිළධාරීන්, ප්‍රදේශයේ ගොවි ගෙවිලියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
තිසර සමල්- අනුරාධපුර