27 April 2024
#දේශීය

මනුෂ්‍යත්වය ගොඩනඟන්න වෑයම් කරන්නේ නැතිනම් අපිට රටක ජිවත්වෙන්න අමාරුවෙයි – මන්ත්‍රී විමලවීර

වෙඩි තැබීම්වලින් අහිංසක දැරියක් ඝාතනය කර පියාගෙන් පළිගැනීමට උත්සහදරා ඇත්නම් රටේ ඇති බරපතලම අර්බුදය ආර්ථික අර්බුදය නොව මානුෂ්‍යත්වයේ අර්බුදයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා, ” මගේ හද කම්පනය කළා අහිංසක දැරියක් වෙඩිතබා මරා දැමීම පිළිබඳව. එය මාධ්‍ය වාර්තා කරපු ආකාරයට පියාගෙන් පළිගැනීම සඳහා දරුවාට වෙඩිතැබීම කියලා. ඇමරිකාවේ මේ අවුරුද්දේ විසි පන්දහසක් මිය ගිහින් තිබෙනවා සමූහ වෙඩි තැබීම්වලින්. ශ්‍රී ලංකාවේ හාරසිය හැත්තෑවක් මිය ගිහින් තිබෙනවා මේ වෙඩි තැබීම්වලින්. මේ අහිංසක දැරිය මැරුවේ පියාගෙන් පළිගැනීමට නම් මේ රටේ බරපතලම අර්බුදය ආර්ථික අර්බුදය නොවේ මානුෂ්‍යත්වයේ අර්බුදයයි. අපි සියලුදෙනාම අමතක කරපු කාරණය වන මේ මනුෂ්‍යත්වය පිළිබඳ කාරණයයි.මේ තරඟකාරි සමාජයේ දෙමාපියන්ගේ වුවමනා ඉෂ්ට කරන උපකරණ බවට දරුවෝ පත්වෙලා තිබෙනවා. පහ වසර ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ මෙය අතිශය පිඩාකාරි තරඟකාරීත්වය නිසා දෙමාපියෝ තමන්ට අහිමිවෙච්ච ලෝකය දරුවෝ උගසට තියලා ඉෂ්ට කරගන්න හදනවා. මේ දැඩි ආත්මාර්ථකාමීත්වයක් දෙමාපියන්ගේ තිබෙන්නේ. ඒ නිසා මම පුද්ගලිකව හැමදාම කටයුතු කළේ මනුෂ්‍යත්වය දෙවැනි කොට කිසිදෙයක් කරන්නේ නැහැ කියලා. ඒ නිසා හැම කෙනෙක්ම මනුෂ්‍යත්වය ගොඩනඟන්න වෑයම් කරන්නේ නැතිනම් අපිට රටක ජිවත්වෙන්න අමාරුවෙයි. දැන් මේ දවස්වල ප්‍රවෘත්තියක් යනවා සහරාන් මරාගෙන මැරුනේ ගෝඨාභය රාජපක්ෂ බලයට ගේන්න කියලා. සහරන් ඇතුලු ඔහුගේ පිරිස මරාගෙන මැරුනේ මුස්ලිම් අන්තවාදි සංවිධානයක්, සිංහල අන්වාදියැයි චෝදනා කරපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ජනාධිපති කරවන්නද? 2019 ජනාධිපතිවරණයේදි මුස්ලිම් බහුතරයක් හිටපු තැන්වලදි ගෝඨාභය රාජපක්ෂ මහතා කොච්චර ඡන්ද ප්‍රමාණයක් හම්බෙලා තිබෙනවාද කියලා විශ්ලේෂණය කර බලන්න. රුවන්වැලිසෑය ඉදිරිපිට ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දෙන අවස්ථාවේ කිව්වා ඔහු සිංහල බෞද්ධ ඡන්දවලින් ජයග්‍රහණය කළේ කියලා. ඒ නිසා මේ දේශපාලන මඩ ගැහිල්ල නිවට සත්‍ය වසන් කරලා තිබෙනවා. දැන් විශේෂ පරික්ෂණ ඉල්ලනවා. රටේ කොමිසම් ගණනාවක් දාලා තිබෙනවා. දැන් මේ කොමිසමක් දාලා සමහරුන්ට ඕන රාජපක්ෂලා මේක පිටුපස හිටියා කියන්න. ඒ මිනිස්සු අද බලයේ ඇත්තෙත් නැහැ. එදා බලයේ හිටියෙත් නැහැ. ඒ තිබුණේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුවයි. මේ කිසිදෙයකට සම්බන්ධ නැති රාජපක්ෂලා තලන්නමයි හදන්නේ. මොකක්ද මේ දේශපාලන න්‍යාය පත්‍රය. ඊයේ අනුර කුමාර මහතා කියනවා චන්ද්‍රසේන මහතා අපේ ආණ්ඩුවක් ආවාම මුලින්ම දක්කගෙන එන කෙනෙක් කියලා. එතුමා හෝටල් හැදුවේ කොහොමද කියලා අහනවා. චන්ද්‍රසේන මැතිතුමාගේ හෝටලය හැදුවේ සල්ලි හෝරකම් කරලා කියලා අනුර කුමාර මහතාගේ ෆයිල් ගොඩේ තිබෙනවාද? ඇයි ඒක අධිකරණයට ගේන්නේ නැත්තේ. ආණ්ඩුවක් එනකන් ඉන්නේ කියනවා. ඒ වගේ රංගනයක් 2015 මතකද? හොරු අල්ලනවා, දඩුවම් කරනවා කිව්වා. ඒ ආණ්ඩුව පත් වුණේ ජනතා විමුක්ති පෙරමුණේ උදව්වෙන්.ඒ උදව් කරලා ගෙනාපු ආණ්ඩුව අවුරුදු ගණනාවක් තිබුණා දූෂණ වංචා අල්ලන්නවා කියලා කමිටුවක අනුර කුමාර මහතා හිටියා. නමුත් ආණ්ඩුව අවසන් වෙනකොට ඒ කිසිදෙයක් නැහැනේ. ඉතින් මේ රංගනයමයි නැවත ගේන්නේ හොරු අල්ලනවා කියලා. මේ ජනතා විමුක්ති පෙරමුණ කියනවා ඔවුන් තමයි ගැලවුම්කාරයෝ කියලා. මේ සුරංගනා බොලඳ තර්ක මිනිස්සු පිළිගන්නවා ද කියන්න මට පුදුමයි. කාටහරි හොරා, වංචාකාරයා කියලා අපහස කරලා ඡන්දය ඉල්ලනවා. වෛරයයි, ක්‍රෝධයයි ඇරෙන්න ඔවුන්ට වෙන වැඩසටහනක් තිබෙනවාද?”යැයි මන්ත්‍රී විමලවීර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *