සුරාබදු ආඥා පනත උල්ලංඝනය කරමින් ප්‍රමිතියෙන් තොර බීර වර්ග වෙළඳපොළට නිකුත් කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු සමාජ මාධ්‍ය මගින් අනාවරණය වී තිබේ. මෙම සිදුවීම පිටුපස සුරාබදු ලොක්කන් සිටින බවටත් එයින් ඔවුන් වෙත මාසිකව රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාදෙන බවටත් බරපතළ චෝදනා එල්ල වී ඇත.
අනාවරණය වන පරිදි, ප්‍රධාන පෙලේ බීර සමාගමක නියාමන කටයුතු භාර ප්‍රධානීයා විසින් මෙම අල්ලස් මුදල් ලබාදීම සිදුකරන අතර, ඒ හරහා මෙම කුප්‍රකට ජාවාරම අඛණ්ඩව ක්‍රියාත්මක වේ. මීට අමතරව, එක් බීර බෝතලයකට රුපියල් 13ත් 15ත් අතර අමතර කොමිස් මුදලක් සුරාබදු ලොක්කන් වෙත ලැබෙන බවටද වාර්තා වේ. මෙම මූල්‍ය ගනුදෙනු සිදුවන ස්ථාන සහ සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව තහවුරු කළ හැකි සාක්ෂි තමන් සතු බවත්, ඒවා ඉදිරියේදී හෙළි කිරීමට සූදානම් බවත් මෙම සමාජ මාධ්‍ය වාර්තා පවසයි.
සුරාබදු ආඥා පනතට අනුව බීර ලෙස අර්ථ දක්වා ඇත්තේ මෝල්ට් මගින් පැසවීමට ලක් කළ පානයන් පමණි. එහෙත් වර්තමානයේ නිෂ්පාදකයින් සහල් සහ සීනි ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස භාවිත කරන අතර, එක් බීර වර්ගයක මිලිලීටර් 100ක සීනි ග්‍රෑම් 6.6ක් අඩංගු බව ලේබලයේම සටහන්ව තිබීම, නියමිත ප්‍රමිතිය ඉක්මවා යාමක් බව පෙන්වා දෙයි. නිෂ්පාදකයෙකු වසරකට සහල් මෙට්‍රික් ටොන් 16,800ක් බීර නිෂ්පාදනයට යොදා ගැනීම නිසා රටේ සහල් පරිභෝජනයට සහ ආර්ථිකයට බාධා එල්ල වී ඇති බවද මෙයින් හෙළිකර තිබේ.
ප්‍රමිතියෙන් තොර බීර වෙළඳපොළට නිකුත් කිරීම හරහා පාරිභෝගිකයින් රවටමින් බරපතළ සෞඛ්‍ය අවදානමක් නිර්මාණය කරන අතරම, බෙදාහැරීම් ක්‍රියාවලියේදී රජයට ලැබිය යුතු බදු මුදල් මගහැර එම මුදල් මාසිකව කෝටිය බැගින් ලොක්කන්ගේ සාක්කුවට යන බව මෙමගින් කියා ඇත.. මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ජනතාව ඉල්ලා සිටී.
















