මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව, දුන්ගල්පිටිය පොලිස් වසමේ තෙල්වත්ත ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 483ක් පමණ වටිනා ඖෂධ තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ඖෂධ තොගය කිසිදු බදු ගෙවීමකින් හෝ නියාමන ආයතනවල අනුමැතියකින් තොරව මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් මෙම ඖෂධ තොගය ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිසිය විසින් කොටු කරගෙන ඇත.
පොලිසිය විසින් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී, මෙම ඖෂධ තොගය මුහුදු මාර්ගයෙන් මෙරටට ප්‍රවාහනය කළ යාත්‍රා දෙකක් සහ එම යාත්‍රාවල සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස 31ත් 49ත් අතර වයසේ පසුවන මීගමුව සහ මාරවිල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
සැකකරුවන්, අත්අඩංගුවට ගත් ඖෂධ තොගය, ලොරි රථය සහ යාත්‍රා දෙක වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා දුන්ගල්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, දුන්ගල්පිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
















