මොරටුව පොලිස් වසමේ සිදු වූ යතුරුපැදි කොල්ලකෑමක් සහ ගමන් බෑග් පැහැරගැනීමක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මොරටුව පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සමත්ව තිබේ.
පසුගිය 24 වන දින රාහුල මාවතේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් යතුරුපැදියක් සමඟ සැකකරුවෙකු මුලින්ම අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ලැබුණු තොරතුරු අනුව මෙම අපරාධවලට සම්බන්ධ අනෙක් සැකකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් පියවර ගෙන තිබේ.
මෙම සැකකරුවන් විසින් මොරටුව පොලිස් වසමේදී සිදු කළ යතුරුපැදි කොල්ලකෑම් සහ ගමන් බෑගයක් පැහැරගැනීමේ සිද්ධීන් රැසක් අනාවරණය වී ඇත. කොල්ලකන ලද යතුරුපැදි දෙකක් මේ වන විට පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 14, 18 සහ 25 යන වයස්වල පසුවන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. මොරටුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
















