වනසතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබූ බදින තුවක්කුවක් පත්තුවීමෙන් සිය වගා බිමට යමින් සිටි තිදරු පියෙකු ජීවිතක්ෂයට පත්වීමේ ශෝකජනක පුවතක් තිරප්පනේ, උට්ටිමඩුව ප්‍රදේශයෙන් වාර්තා වෙයි. අද (09) අලුයම් කාලයේදී සිදුවූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ කුට්ටිකුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි විශ්‍රාමික හමුදා සෙබළෙකි. ඔහු සිය තල හේන වෙත යමින් සිටියදී, මාර්ගය අසල කැලෑබද ප්‍රදේශයක වල් ගෝනුන් දඩයම් කිරීම සඳහා කිසියම් පිරිසක් විසින් අටවා තිබූ බදින තුවක්කුවක් මෙලෙස පත්තුවී තිබේ.
තුවක්කුව පත්තුවන ශබ්දය ඇසී ප්‍රදේශවාසීන් වහා එම ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමේදී, පපුව සහ ඉණ ප්‍රදේශයට වෙඩි වැදී බරපතළ තුවාල ලබා සිටි ඔහු හමුවී ඇත. වහාම පයිරමඩුව රෝහලට ඇතුළත් කළ ද, සුළු වේලාවකට පසු ඔහු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි. මෙම නීතිවිරෝධී බදින තුවක්කුව ඇටවූ පුද්ගලයන් කවුරුන්දැයි හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා තිරප්පනේ පොලීසිය මේ වන විට පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණය අද දින සිදු කිරීමට නියමිතව ඇත.













