රුපියල් ලක්ෂ 30කට ආසන්න වටිනාකමකින් යුත් නීතිවිරෝධි සත්ව ඖෂධ කිලෝග්‍රෑම් 1,090ක සම්පූර්ණ තොගයක් වත්තල – කෙරවලපිටිය සායනික අපද්‍රව්‍ය විනාශ කිරීමේ පරිශ්‍රයේදී පසුගියදා (17) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සහ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ විනාශ කර තිබේ.
ජුනි 09 වැනිදා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) සහ අදාළ අංශ එකව සිදුකළ විශේෂ ඒකාබද්ධ වැටලීමකදී මෙම නිසි ප්‍රමිතියෙන් තොර සහ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොතිබූ නීතිවිරෝධි සත්ව ඖෂධ තොගය අත්අඩංගුවට ගෙන ඇත. අදාළ නිෂ්පාදකයා කැඳවා කරුණු විමසීමේදී ඔහු වරද පිළිගෙන ඇති අතර, අදාළ ඖෂධ නීතිවිරෝධි ලෙස නිෂ්පාදනය කර බෙදා හැරීමට කටයුතු කළ බව සඳහන් කරමින් දිවුරුම් ප්‍රකාශයක් ද ලබාදී තිබේ.
මෙවැනි නිසි ප්‍රමිතියෙන් තොර ඖෂධ සතුන්ට ලබාදීම සතුන්ගේ සෞඛ්‍යයට හා ජීවිතයට පමණක් නොව, එම සතුන්ගෙන් ලබාගන්නා මස්, කිරි, බිත්තර වැනි සත්ව නිෂ්පාදන පරිභෝජනය කරන මහජනතාවගේ සෞඛ්‍යයට ද දැඩි අවදානමක් ඇති කරන බව නිලධාරීහු පෙන්වා දෙති. එබැවින්, සුරතල් සතුන්ට හෝ ගොවිපළේ සතුන්ට ඖෂධ, විටමින් හෝ සත්ව ආහාර මිලදී ගැනීමේදී සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ (DAPH) ලියාපදිංචිය තිබේදැයි පරීක්ෂා කරන ලෙසත්, නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වීමේ දිනය පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් පාරිභෝගික අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
















