ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ 5 වන සහ 6 වන සමාලෝචන සාර්ථකව අවසන් වීමෙන් අනතුරුව, අමෙරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් ශ්‍රී ලංකා භාණ්ඩාගාරය වෙත බැර කර තිබේ. පසුගිය 27 වන දින පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල රැස්වීමේදී මෙම සමාලෝචන සඳහා අනුමැතිය හිමිවිය.
2023 මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අමෙරිකානු ඩොලර් බිලියන 3ක සමස්ත මූල්‍ය පහසුකමක් අනුමත කරන ලදී. අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාව විස්තීරණ අරමුදල් පහසුකමේ විධිවිධාන ශක්තිමත්ව ක්‍රියාත්මක කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා සඳහන් කළේය. දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අවදානමක් පවතින බවත්, ඉන්ධන මිල ඉහළ යාම සහ සංචාරක ලැබීම් අඩුවීම නිසා 2026 වසරේ ආර්ථික වර්ධනය 3%ක මට්ටම දක්වා මන්දගාමී වනු ඇති බවත් පුරෝකථනය කර ඇත. ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වීමට ආසන්න වුවද, ණය තිරසාර අවදානම ඉහළ මට්ටමක පවතින බැවින් මූල්‍ය ප්‍රතිපත්තිය මිල ස්ථාවරත්වයට ප්‍රමුඛත්වය දෙමින් අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.
















