ශ්රී ලංකා බලධාරීන් ඉල්ලා සිටින ඕනෑම සුදුසු ආකාරයකින් ඉදිරියේදීත් ශ්රී ලංකාවට සහාය දැක්වීමට ජාත්යන්තර මූල්ය අරමුදල (IMF) සූදානම් බව එහි ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්ය අධ්යක්ෂිකා සොනාලි ජෛන්-චන්ද්රා මහත්මිය පවසයි.
ඔක්තෝබර් 12 සිට 18 දක්වා බැංකොක් නුවර පැවැත්වෙන IMF සහ ලෝක බැංකු සමූහයේ 2026 වාර්ෂික හමුව අතරතුර පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කර තිබේ.
ශ්රී ලංකාවේ සමස්ත ආර්ථික තත්ත්වය සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බවත්, මූල්ය කාර්ය සාධනය ශක්තිමත් වී ඇති අතර ණය ප්රතිව්යුහගත කිරීමේ කටයුතු ද බොහෝ දුරට අවසන් වී ඇති බවත් ඇය පෙන්වා දී ඇත. යහපාලනය සහ ව්යුහාත්මක ප්රතිසංස්කරණ සම්බන්ධයෙන් ලබා ඇති ප්රගතියද ඇයගේ ඇගයීමට ලක්ව තිබේ.
විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ ක්රියාත්මක වැඩසටහනේ හත්වැනි සමාලෝචනය සම්බන්ධයෙන් මේ මස මුලදී ශ්රී ලංකාව සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීමට IMF සමත් විය. ඒ අනුව, ඇමෙරිකානු ඩොලර් මිලියන 345ක පමණ මූල්ය ප්රතිපාදන මුදාහැරීමට මඟ පෑදී තිබේ.
දැනට පවතින එකඟතාවෙන් ඔබ්බටද ශ්රී ලංකාව සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට IMF සූදානම් බව ජෛන්-චන්ද්රා මහත්මිය සඳහන් කර ඇත. නව මූල්ය ගිවිසුමක්, ප්රතිපත්තිමය උපදෙස් සහ ධාරිතා සංවර්ධන සහාය ඒ සඳහා සලකා බැලිය හැකි ක්රමවේද අතරට ඇතුළත් වේ.
හත්වැනි සමාලෝචනයට අදාළ එකඟතාව ඉදිරි සති කිහිපය තුළ IMF විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. එසේම, දැනට ක්රියාත්මක වැඩසටහන ලබන මාර්තු මාසයේ අවසන් වීමට පෙර තවත් සමාලෝචන මෙහෙයුමක් පැවැත්වීමටද සැලසුම් කර තිබේ.
















