මෙවර වෙසක් පුන් පොහෝ දිනයේදී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට අනුරාධපුර උඩමළුව වෙත ලක්ෂ 10කට අධික බැතිමතුන් පිරිසක් පැමිණ ඇති බව වාර්තා වේ. අති විශාල බැතිමතුන් පිරිසක් පැමිණීම හේතුවෙන් සාමාන්‍යයෙන් මධ්‍යම රාත්‍රී 12.00ට වසා දමනු ලබන උඩමළුවේ දොරටු, රැය පහන් වන තුරු අගුළු නොදමා විවෘතව තැබීමට කටයුතු කළ බව උඩමළුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑව මහතා සඳහන් කළේය.
වෙසක් පොහෝ දිනයේදී රුවන්වැලි සෑ මළුව සහ උඩමළුව පරිශ්‍රයේ විශාල බැතිමතුන් පිරිසක් සිල් සමාදන් වූ බවත්, ඔවුන්ගේ ආරක්ෂාව සහ පරීක්ෂාව සඳහා විශාල පොලිස් නිලධාරීන් පිරිසක් රාජකාරියේ යොදවා තිබූ බවත් පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. බැතිමතුන් වෙනුවෙන් විවිධ සංවිධාන සහ දානපතියන් විසින් බත්, කොත්තු, බිරියානි, පාන්, කඩල සහ විවිධ පාන වර්ග ඇතුළු දන්සල් රැසක් රැය පහන් වන තුරු පවත්වාගෙන ගිය බව වාර්තා වේ.














