ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහනේ ප්‍රධාන කොන්දේසියක් වන ‘දේපළ බද්ද’, එළඹෙන වසරේ පළමු මාස හය ඇතුළත හඳුන්වා දීමට රජය පියවර ගත යුතු බව එම අරමුදල අවධාරණය කර සිටියි. මෙම දේපළ බද්ද ප්‍රධාන වශයෙන්ම පැනවීමට යෝජනා වී ඇත්තේ දෙවැනි හෝ අමතර නිවසක් හිමි පුද්ගලයන් ඉලක්ක කර ගනිමිනි.
මෙම බදු ක්‍රමය ක්‍රියාත්මක කරන නිශ්චිත කාලසීමාව සහ එහි ව්‍යුහය පිළිබඳව රජය මේ වන විටත් වැඩිදුර අධ්‍යයනයක නිරතව සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. සාමාන්‍යයෙන් දේපළ සඳහා බදු අයකිරීම විධිමත් බදු ක්‍රමයක අත්‍යවශ්‍ය අංගයක් වන අතර, එමගින් දේශීය ආදායම් ශක්තිමත් කර ගැනීමට විශාල දායකත්වයක් ලැබෙන බව මූල්‍ය අරමුදලේ මතයයි. ශ්‍රී ලංකාවේ බදු පද්ධතිය වඩාත් කාර්යක්ෂම සහ සාධාරණ එකක් බවට පත් කිරීම සඳහා “මධ්‍යකාලීන ආදායම් උපායමාර්ගයක්” සකස් කරන ලෙස ද ඔවුන් රජයට නිර්දේශ කර ඇත. බදු ගෙවන පිරිස වැඩි කිරීම, බදු පරිපාලනය ශක්තිමත් කිරීම සහ අනවශ්‍ය බදු සහන ඉවත් කිරීම මෙම උපායමාර්ගයේ ප්‍රධාන අංග වේ.















