රටින් ගෙන්වන ලද මතභේදයට තුඩු දුන් සුදු මැස්සා සහිත මල් තොගය කිසිදු නීතිවිරෝධී හෝ දේශීය කෘෂිකර්මාන්තයට අහිතකර වන අයුරින් පිටතට යැවීමක් සිදුව නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ජාතික හා අන්තර්ජාතික නීතිරීතිවලට එකඟව සිදුවූවක් බව ද ඔහු අවධාරණය කරයි.
2026 ජනවාරි 12 වන දින ඉන්දීය ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් යානයකින් කාඩ්බෝඩ් පෙට්ටි 18ක මල් තොගයක් මෙරටට ආනයනය කර තිබුණේ නිසි ආනයන බලපත්‍රයකට යටත් වෙමිනි. ජාතික ශාක නිරෝධායන සේවය (NPQS) විසින් සිදුකළ භෞතික පරීක්ෂාවේදී පෙට්ටි 12ක කිසිදු පළිබෝධකයෙකු නොසිටි බැවින් ඒවා නිදහස් කර ඇත. කෙසේ වෙතත්, ක්‍රිසැන්තිමම් මල් අඩංගු ඉතිරි පෙට්ටි 6 පිළිබඳව සැක සිතී සිදුකළ රසායනාගාර පරීක්ෂණවලදී එම මල්වල සුදු මැස්සාගේ ජීවන චක්‍රයේ මූලික අවස්ථාවන් සහ ‘සුදු මලකඩ’ රෝග ලක්ෂණ හඳුනාගෙන තිබේ.
මෙම පළිබෝධකයා සහ රෝගය ශ්‍රී ලංකාවට අදාළව නිරෝධායන පළිබෝධකයින් ලෙස ලැයිස්තුගත කර නොමැති වුව ද, විදේශීය පළිබෝධකයින් නිසා ඇතිවිය හැකි අවදානම සලකා අදාළ පෙට්ටි 6ම විනාශ කිරීමට නිර්දේශ කෙරුණි. ඒ අනුව 2026 ජනවාරි 30 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඇති දහන යන්ත්‍රයක් ආධාරයෙන් එම පෙට්ටි 6ම පුළුස්සා විනාශ කර ඇත.
විවිධ පාර්ශවයන් විසින් සත්‍ය කරුණු සොයා නොබලා සිදුකරන පදනම් විරහිත ප්‍රකාශ හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳ හවුල්කරුවන් ඉදිරියේ ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන ක්‍රමවේදය (Phyto Sanitary status) පිළිබඳ විශ්වාසය පළුදු විය හැකි බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි. මෙය රටේ ශ්‍රේණිගත කිරීම් පහත වැටීමට හේතුවන අතර අවසානයේ ලංකාවේ අපනයන වෙළෙඳපොළට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බැවින්, වගකීම් විරහිත ප්‍රකාශ සිදුකිරීමෙන් වළකින ලෙස ඔහු සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.














