බන්ධනාගාරගත කර සිටින හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් වුවද, ඔහු නැවත හමුදාව හෝ හමුදාපති අසීම් මුනීර් සමඟ ගැටුමකට නොයන බව ඔහුගේ ප්‍රධාන උපදේශකයෙකු වන දුල්ෆිකාර් බුකාරි ප්‍රකාශ කර තිබේ.
රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉම්රාන් ඛාන්ව වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට ලබාදුන් නියෝගයෙන් පසුව, රටේ අනාගතය වෙනුවෙන් පවතින දේශපාලන නොසන්සුන්තාව අවසන් කිරීමට තම පක්ෂය සූදානම් බවයි. 73 හැවිරිදි ඉම්රාන් ඛාන්ව පෞද්ගලික රෝහලකට මාරු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීමෙන් පසුව ඔහු වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහලට ගෙන ගොස් නැවත බන්ධනාගාරයට යොමු කර ඇත.
ඉම්රාන් ඛාන්ගේ පාකිස්ථාන් තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂයේ ප්‍රකාශක දුල්ෆිකාර් බුකාරි පෙන්වා දෙන්නේ, ඉම්රාන් ඛාන් නිදහස් වුවද රටට හානියක් වන කිසිදු ක්‍රියාවක නිරත නොවන බවයි. හමුදා නායකත්වය සමඟ ගැටෙනවාට වඩා වේදනාවන් ඉවසමින් රට වෙනුවෙන් කටයුතු කිරීමට ඔහු සූදානම් බවත්, හමුදාපතිවරයා සුබවාදී පියවරක් තබන්නේ නම් පැය 24ක් ඇතුළත සියලු දේශපාලන සිරකරුවන්ට නිදහස හිමිවනු ඇති බවත් ඔහු විශ්වාසය පළ කරයි.
කෙසේවෙතත්, විදේශගතව සිටින PTI පක්ෂ නායකයින්ගේ මෙම ලිහිල් ප්‍රවේශයට බන්ධනාගාරගතව සිටින ඉම්රාන් ඛාන් එකඟ වන්නේ ද යන්න පිළිබඳව දේශපාලන විශ්ලේෂකයෝ සැක පළ කරති. මේ අතර, ඉම්රාන් ඛාන්ට සුදුසු වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සහ ඔහුව නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලබන සැප්තැම්බර් 27 වනදා රට පුරා දැවැන්ත විරෝධතා පාගමනක් පැවැත්වීමට PTI පක්ෂය තීරණය කර ඇත.
















