27 April 2024
#දේශීය

“නැණ ගුණ වැඩුමට අත්වැලක්” වැඩසටහනේ සමාරම්භකය ලග්ගල පුවක්පිටිය කණිෂ්ඨ විද්‍යාලයේදි

“නැණ ගුණ වැඩුමට අත්වැලක්” දුෂ්කර පාසල් සංවර්ධනය කිරීමේ සමාරම්භක වැඩසටහන මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පුවක්පිටිය කණිෂ්ඨ විද්‍යාලයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 06 වනදා සිදුවිය.

මෙම වැඩසටහන මගින් සම්පත් ඌණතාවයන් පවතින පාසල් වෙත ශක්තියක් ලබාදිය හැකි පාසල් මගින් උපකාර ලබාගනිමින් සහෝදර පාසල් වශයෙන් සමස්ථ අධ්‍යාපනය සංවර්ධනය කිරීමක් අපේක්ෂා කරන අතර, එහි සමාරම්භක අවස්ථාවේදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ 11 ශ්‍රේණියේ දරු දැරියන්ගේ දායකත්වයෙන් රුපියල් ලක්ෂ 17 කට ආසන්න වටිනාකමෙන් යුත් පාසල් උපකරණ පුවක්පිටිය කණිෂ්ඨ විද්‍යාලය, ලේල්ඔය ප්‍රාථමික විද්‍යාලය සහ කහගල ප්‍රාථමික විද්‍යාලය යන පාසල් ත්‍රිත්වයේ දරුවන් 113 දෙනෙකු අතර බෙදා දීම සිදුවිය.

ගාල්ල අම්බලන්ගොඩ කලාපයේ ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පතිනී සනූජා ජයවික්‍රම පෙරේරා මහත්මියගේ මගපෙන්වීමෙන්, 11 B ශ්‍රේණි භාර ගුරු මනෝජ් නුවන් ඕපාත මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක එම පාසලේ 11 B ශ්‍රේණියේ කණ්ඩායම් ව්‍යාපෘතිය වන “දම්සෝ අත්වැල” ව්‍යාපෘතිය හා සබැදිව මෙම භාණ්ඩ ලබාදීම සිදු විය.

නැණ ගුණට අත්වැලක් වැඩසටහන කාලීනව ඉතා වැදගත් වූත්, අර්ථවත් වූත් වැඩසටහනක් බවත්, එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්, ගාල්ල අම්බලන්ගොඩ කලාපයේ ධර්මාශෝක විද්‍යාලයටත්, සම්බන්ධීකරණ කටයුතු සිදුකළ පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) එස්.නිශ්ශංක මහතාට ද මෙම වැඩසටහන සදහා නන් අයුරින් සම්බන්ධ වූ සියලු පාර්ශවයන්ට ද සිය ස්තූතිය පළකර සිටින බවත්, නිදහස් අධ්‍යාපනයෙන් පෝෂණය ලබාගත් බොහෝ දෙනාගේ හැසිරීම නිරීක්ෂණය කිරීමේදී රට ජාතිය වෙනුවෙන් සිය වගකීම ඉටුකර ඇත්ද යන්න ගැටලු සහගත බව යි. මනුෂ්‍යත්වය ගිලිහී ගිය සමාජයක් වර්තමානය වන විට නිර්මාණය වී ඇති බවත්, සමාජයේ යහපත් කිරීමට ගුණ ගරුක පරපුරක් නිර්මාණය කිරීමෙහිලා පාසල් පද්ධතිය තුල කුසලතා දැනුම මෙන්ම ආකල්ප සදහා ද ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කළ යුතු බවත් එම මහතා මෙහිදී වැඩි දුරටට්ත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත්, පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) එස්.නිශ්ශංක, ලග්ගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.පී කරුණාරත්න, ආණ්ඩුකාරවර සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ලියනගමගේ , පුවක්පිටිය කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති චන්ද්‍රරත්න බණ්ඩා, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති රසික ජයසූරිය යන මහත්වරුන් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක් විය.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *