27 April 2024
#සංවර්ධන

ඇස්ෆෝල්ට්නිෂ්පාදන ධාරිතාවය මසක් ඇතුළත වැඩි කරන්න – අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

දැනට අබලන් තත්ත්වයේ පවතින පැයකට ඇස්ෆෝල්ට් ටොන් හැටක් නිෂ්පාදනය කරන යන්ත්‍රය කඩිනමින් අලුත්වැඩියා කර සේවයේ යොදවන ලෙසටත් පෙරමුසු අංගන පරිශ්‍රයේ අලුතින් ගල් කඩන යන්ත්‍රයක් (crusher) ස්ථාපිත කරන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාර්ග සංවර්ධන අධිකාරියට අනුබද්ධිත මග නැගුම ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගමේ ගනේවල්පොල පෙරමුසු අංගනයේ මෙහෙයුම් කටයුතුවල වත්මන් තත්ත්වය සොයා බැලීමට එක්වෙමිනි.

මෙහි සම්පත් තිබුණ ද ඒවා නිසි ලෙස භාවිතා නොකරන බවට අමාත්‍යවරයාට එහිදී නිරීක්ෂණය විය.

මෙහි දී විෂයභාර අමාත්‍යවරයා මගනැඟුම ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගමේ සභාපතිතුමන් හට මෙම ගනේවල්පොල පෙර මුසු අංගනයෙන් දැනට නිෂ්පාදනය කරන ඇස්ෆෝල්ට් ධාරිතාවය වැඩි කිරීමට අවශ්‍ය නවීන යන්ත්‍රසූත්‍ර කඩිනමින් මිලදී ගැනීමට උපදෙස් ලබාදෙනු ලදී.

මහාමාර්ග අමාත්‍යාංශය මගින් මෙම ප්‍රදේශයේ ක්‍රියාත්මක කිලෝමීටර ලක්ෂයේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අවශ්‍ය ඇස්ෆෝල්ට් හිඟතාවයකින් තොරව ලබා දීමට මෙමඟින් හැකියාවක් ලැබෙන අතර කඩිනමින් එම මාර්ග ව්‍යාපෘතින් අවසන් කිරීමට හැකි වන බව අමාත්‍යවරයා මෙහි පැවසිය. දිරාපත් වීමට ඉඩහැර ඇති වාහන භාවිතයට ගත හැකි ආකාරයට වහාම අලුත්වැඩියා කරන ලෙස අමාත්‍යවරයා මෙහි දී නියෝග කර ඇත.

සේවක මහතුන්ගේ සුබසාධනය වෙනුවෙන් අංගන පරිශ්‍රයේ නවීන පහසුකම්වලින් සපිරි සේවක නිල නිවාස සංකීර්ණයක් ඉදිකිරීමටත් දැනට තිබෙන නිල නිවාස කඩිනමින් අලුත්වැඩියා කිරීමටත් මෙහි දී සභාපතිවරයාට උපදෙස් ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට මගනැඟුම ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගමේ සභාපති ක්‍රිෂාන්ත කපුවත්ත, මගනැඟුම ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගමේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ මොහොමඩ් ශාකීර් මහතා ඇතුළු නිලධාරීන් සහ සේවක පිරිසක් සහභාගී වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *