#විශේෂාංග

දිනපතා සුනඛයන් 1500 දෙනාට දිනපතා තුන්වේලම කන්න දෙන සුනඛ ගෙදර

අපේ කාලයේ සුනඛ ගෙදර කතාන්දරය අන්දරය සත්තකින්ම අසන්නට දකින්නට තරම් වටිනා වූ පුවතකි. ඉතිං මේ ගෙදර ඇත්තන්ගේ කතාව අන්දරය ඔබට කියන්නට අපි පසුගිය දිනෙක ගියෙමු.

ගාල්ල,මිහිරි පැන් තිබෙන ගම වූ මිහිරිපැන්න,තල්පේ ගම්මානයේ ය. පුරා අක්කර ගණනක පිහිටා ඇති සරුසාර ගෙවත්ත හා නිවසේ වාසය කරන නේවාසික පිරිස පන්සීයයකට (500) අධිකය. ගෙදරින් පිට මේ නිවස හා සම්බන්ධව ජීවත් වන පිරිස දහසකට (1000) අධිකය. නිවසක්,ළදරු පාසලක් මෙන් වූ මේ නිවස විටක ක්‍රීඩා පාසලක් බඳුය.තවත් විටක,වෙද ගෙදරකි.විහාරයක්,පන්සලක් තරම් වු කරුණාවේ,දයාවේ,ආදරයේ,නිදහසේ සතුටු පිරුණු රසවිතක් වු නිවස සත්තකින්ම පුදුම සහගතය. මේ ගාල්ල,උනවටුන,මිහිරිපැන්න,තල්පේ ඩෝක් කෙයා නිවසේ රසමුසු වු කතාන්දරයි.

පෙළක් සුනඛයෝ මහ හයියෙන් උඩු බුරන්නට වූහ.සමහරු බුරන්නේ යම් සංගීත රාවයකට දැයි මට සිතේ. සමහරු එක යායට එක රෑනට වැලි මිදුලේ සෙල්ලම් කරති. දුවති.පනිති.පිණුම් ගසති.එය නම් අපුරු වු සෙල්ලමකි. සමහරු කූඩු වලට වී නිදහසේ නිදියති. සමහරු ඇස් කන් අයාගෙන නිදහසේ සිටිනු දැකිය හැකිය.පාසලක මෙන් නිදහසේ ඇවිද යන්නට නටන්නට නිදහසේ ගැවසෙන්ට සමහරු හරිම රුසියෝ ය.නමුත්, මේ සුනඛ ගෙදර කරච්චලය නම් අඩුවක් නැත. එක් වරම මේ සුනඛයෝ සියල්ලෝම කෑ කෝ ගැසීම උඩු බිරිම ඔවුන්ගේ ගාලගෝටිටිය නතර කළහ. ඒ දෙසවන් දෙනුවන් සුවපත් කරන්නා වූ සීනුමය හඬ සුනඛ ගෙදර හා අවට පැතිරීම නිසාය. මහා පුදුමයකි. සියල්ලෝම දැන් නිහඩව සිටිති. මට ද අපිට පුදුමයකි. මේ නිහැඩියාවට හේතුව වුයේ සුනඛයනගේ උදෑසන ආහාර වේලාවට නාද කරන්නාවු සිනූ නාදය මේ සුනඛ ගෙදර සුනඛයෝ හොදින් දැන හැදිනගෙන සිටින නිසාය.

මහා කල්දේරම් වල බත්,මස්,මාඵ එළවළු,ආදි කොට ඇති ව්‍යංජන ඉදෙන රසය ඇත්තටම සුවදය.රසවත්ය.මේ ගෙදර මහා කුස්සියේ උයන බාස්ලා රසට කෑම උයති.ඒ නේවාසිකව සිටින සුනඛයන් පන්සියකට අධික පිරිසකට හා නිවසේ එක් පසෙක සිටන මහලු සුනඛයන්ටද,ප්‍රතිකාර ලබමින් සිටින සුනඛයනගේ උදයේ ආහාරය එසේ සකසමින් ඇත.මේ කෑම රසයට දෙවැනි නොවූ වු අතුරු පස ද ඒ මහා කුස්සියේ මුළුතැන්ගේ රසටම පිළියෙළවෙමින් තිබේ.

මේ අතර.සුනඛ ගෙදර කුස්යේ උයන ආහාර වාහන කිහිපයකින් මඟතොට අයාලේ යන සුනඛයන්ටද ලබා දෙන්නට ජංගම සුනඛ ආහාර සපයන වාහන ද සැරසී සිටින්නේ මඟ තොටේ පාර වල ගෙවල් අසල සිටින සුනඛයන්ට ආහාර ලබා දෙන්නටය.මේ පිරිස එනම් මහ මඟ සිටින පිරිස දහසකට අධිකය.

මඟතොටේ සිටින සුනඛයෝ උදයේ ආහාරය ගන්නට කෑම වාහනය එනතුරු බලා සිටිති.මේ සුනඛ ගෙදර මාසකට ආහාර සඳහා වැයවන මුදල රුපියල් ලක්ෂ දෙකකට අධිකය. නැති නම් යුරො 30,000කට අධිකය.

මේ සුනඛ ගෙදර තවත් පිරිසකි.ඒ අයාලේ යන ගවයන් හා මසට විකිනෙන ගවයන්ට අභය දානය දී මේ සුනඛ ගෙදර විශාල වත්තේ ඒ අයටද ගව ආහාර ලබා දෙති.ඇති දැඩිකර ගන්නා ආකාරයද සුන්දරය. මේ අයගේ දිනපතා තණ කොළ,පිඳුරු, කුනක්කු වලට මතරව ගවයන්ට පෝෂණයෙන් සපිරි ආහාර සපයන්නට වැයවන මුදල රුපියල් දස දහසකට(1000) අධිකය.

අපේ කතාන්දරයේ සුනඛ ගෙදර තවත් පිරිසකි. ඒ බළලුන්ය. මේ අයටද කදිම නිවහනක් වු සුනඛ ගෙදර පෙර කී පරිදි බළලුන් පුසන් ද නිදහසේ ජීවත් වේ. මේ සුනඛ ගෙදර මේ රාජකාරි සිදු කරන්නට පමනක් සියයකට (100) අධික පිරිසක් සේවය කරන ආකාරය දැක ගත හැකිය.

සුනඛ ගෙදර එක් පසක සුපිරි වායු සමනය කළ රෝහලක්ද වේ. ඒ සුනඛ,බලල් බලල්,පුස් හා ගවයන්ට නිරතුරුව ප්‍රතිකාර කරන දේශීය වෛද්‍ය වරු පස් දෙනෙකුගේ සේවාවයි.ඔවුන් මෙහි දිනපතා සිය රාජකාරිය ඉටු කරති.දිනපතා මේ සුනඛ ගෙදර ඇත්තන්ගේ අසනිපවලට සහන ලබා දෙන්ට මේ අය අමතක නොකරති.

මේයට අමතරව,මහ මඟ දී වැටී තුවාල වී නැතිනම් කාත් කවුරුත් නැතිව සිටින, එසේ නැති නම් අසරණව ඉබා ගාතේ යන සුනඛයන්ට ගවයන්ට,පුස්, බලලුන්ට ප්‍රතිකාර කරන රෝහල් පරිශ්‍රය තුළ සැත්කම් සිදු කරන්නේ අපේ කාලයේ දේශිය හෙළ වෙද දෙවිවරුය.ඒ අය සත්භාවයෙන් මේම සුනඛ ගෙදර සේවය කරන්නේ 2007 වර්ෂයේ සිටිය.

මේ සුනඛ ගෙදර ප්‍රධාන වෛද්‍ය උදය අයේෂ්මන්ත මහතා මෙසේ කීය.

මේ ආයතනය 2007 දී ආරම්භ කළා.සතුන්ට ආදරය කරන සතුන්ට කරුණාව දක්වන විශාල පිරිසක් රට පුරා ලොව පුරා සිටිනවා.මේ පිරිස් තමයි මේ අපේ ගෙදර එක්ක සම්බන්දවී කටයුතු කරන්නේ.සතුන්ට ආදරය කරන දෙස් විදෙස් ජීවත්වන පුහුණු වන හා මේ සඳහා කැමැත්තක් දක්වන වෛද්‍ය සිසුසිසුවියන් පිරිසක්ද අප මේ සුනඛ ගෙදර වෛද්‍ය අංශයට අනුයුත්තව සේවය කරනවා. පුහුණුවද ලබා ගන්නවාට අමතරව,අපට ඒ පුහුණු වෛද්‍ය සිසුන්ට මෙය මහා පිනක්.අත්දෑකීමක් පළපුරුද්ක් ඇති කරනවා.ඇති වෙනවා.විවිධ රටවල සත්ව වෛද්‍ය සිසුන් ද මෙහි සිටිනවා.

සැත්කම් කරන්නට,තුවාල වලට හෙහෙත් දමන්නට,අත් පා කැඩුණු සතුනට ප්‍රතිකාර සිදු කරනවා. අපි හරි කැමැත්තෙන් මේ සත් කටයුත්ත සිදු කරනවා.මේ ස්ථානයෙන් අසනිප වු රෝගී වු සුනඛයන් සුවපත්කර සුනඛයන්ට,පුසන්ට ආදරය ඇති අයට මේ සුවපත් වු නිරෝගි වු අය තම නිවසට රැගෙනගොස හදා ගන්නටද අවස්ථාවක් තියනවා. කැමැති නම් ඒ අයට මේ සතුන් රැගෙන යන්නට අවස්ථාව ලබා දී තියනවා. ඒ සඳහා කිසිදු මුදලක් අප අය කරන්නේ නෑ.

නමුත්, අපෙන්ගෙන යන සතුන් සම්බන්ධයෙන් නිරතුරුවම වෛද්‍ය උපදෙස් ලබා දෙන්නට සොයා බලන්නට ද අප අමතක කරන්නේ නෑ.

මෙයට අමතරව, අප ආයතනය තුළින් සුනඛයෙක් අරගෙන ගිහින් නිවසේ හදා වඩා ගන්නට වෙනත් වු ක්‍රමවේදයක් ද තියනවා.අප මේ නිවසේ පසුවන නිරෝගි සතුන් සුනඛයන් රැගෙන ගොස් හදා ගන්නවා නම් එක සුනඛයෙක් හට අපි රුපියල් හත් දහසක් (7000) මුදලක් ලබා දෙනවා.මේ වැඩ සටහන මෙවන විට අප රට පුරා ක්‍රියාත්මක කර තිබෙනවා.මේ සඳහා වයසක,තරුණ පිරිසගෙන් මහා උනන්දුවක් තියනවා.ලොකු ඉල්ලුමක් මේ වැඩ සටහනට තියනවා.

වයස අවුරුදු පනහ පැන්න අයට නිදහසේ ගෙදර සිටින පිරිස්වලට මේ ආකාරයෙන් අප ගෙදරින් සුනඛයෙක් අරගෙන ගිහින් හදා වඩා ගන්නට හැකියාවක් තියනවා.එය වෙනස් වූ වැඩසටහනක්.මේ නිවසේ සිටින සෑම සතෙකුටම අදාළ ලිපි ගොනුවක් වෛද්‍ය වාර්තාවක්,ආදි සියල්ලම අප සතුයි.සමහරු කූඩුවල හදනවා. සමහරු නිදැල්ලේ සිටිනවා. මිනිසුන් වාගේ මේ සතුන් ගහ මරා ගන්නේ නෑ. ආදරය,කරුණාව මේ අයට අපි ලබා දෙනවා. මහ පාරේ යන්නත් බැරිව,වකුටූ වු. නාකි වු,මහළු වු,තුවාල වු,අවලස්සන, සමේරෝග හැදුණු සුනඛයන්, පුසන් අප මෙම ගෙදරට ගෙනත් ප්‍රතිකාර කර සුවපත් කරනවා. මේ අය දැන් යෝධයෝ වගේ හැඩිදැඩි නිරෝගි අය බවට පත් කර නඩත්තුකරගෙන යනවා.මෙය ලේසි පහසු කටයුත්තක් නොවෙයි. මහා වගකීමක් දරන්න වෙනවා.

රටේ සුනඛයන්ට,බලලුන් පුසන්ට සමහර අය වැඳ දෙනවා.හරියට සලකන්නේ නෑ.හදනවට සුනඛයා පුසා හදනවා.කෑමක් බීමක් හරියට නෑ. ඒ සුතුන්ටද ජීවිතයක් නිදහසක් තියනවා.සමහර ගෙවල්වල සතුන් ඇති කරනවා.නමුත්, නිදා ගන්නේ අගු පිල්වල.වැස්සට තෙමෙනවා.අවුවට වේලෙනවා.මේ අයට කූඩුවක් සකස්කර ඒ අය ගැන සොයා බලා,නිසි ප්‍රතිකාර ලබා දෙන්නට උවමනායි.පෝෂණ ආහාර ලබා දෙන්නට උවමනායි.ඒ නිසා මේ සුනඛ,බලල් ආදි සතුන්ට තම දරුවන් වාගේ බලා ගන්න කියලා අපි ලොව,රට පුරා සිටින සතුනට ආදරය කරන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ සතුන් නඩත්තු කරන එක,ඒ අයට කූඩු සකස් කරන්න,නිදැල්ලේ සිටින අයට පහසුකම් සපයන්න,වෛද්‍ය ප්‍රතිකාරවලට,බෙහෙත්වලට,වෛද්‍ය උපකරණවලට,ජල,විදුලිය,ආදී පොදු පහසුකම් සපයන්න නඩත්තු කරන්න මහා වියදමක් වැය වෙනවා.

දුක හිතෙන කතාන්දරයක් කියන්නම වෙනවා.සති ගණනාවක් කන්න නැතුව මැරෙන්නට සිටින සුනඛයෙක් ගැන අපිට ආරංචි උනා.ඒ ගෙදර ‍අයටත් කන්න බොන්න නෑ.ඉන්න හිටින්න නිසි තැනක් නෑ.ගෙදරත් ගෙදර අයත් දුප්පත්.අපි ගිහින් ඒ ගෙදර සුනඛයාව අරගෙන ඇවිත් ප්‍රතිකාර කර නාවලා ආහාර දී සුවපත් කළා. එයාට අපි නමක් දැම්මා අස්කාන් (ASKAN) කියලා. එයාට දැන් වයස අවුරුදු පහයි.එයා තමයි අපේ මේ ගෙදර ලස්සනම හුරුබුහුටිම සතා.එයා අපි අපේ සියයක් පමණ වු කාර්ය මණ්ඩලය දැක්කාම ගරු කරනවා.අස්කාන් තමයි මේ අපේ නිවසේ සුරතලා.එයා අද නිදහසේ සතුටින් ජීවත් වෙනවා. එවැනි අස්කාන්ලා දහස් ගණනකට අපි පිහිට වී තිබෙනවා.

සුනඛ නිවසේ කලමනාකරණය සිදු කරන ජෝච් අබේතුංග මහතා (40) මෙසේ කීය.

සතුන් නාවන්න,පහසුකම් දෙන්න,ආහාර දෙන්න,අසනීප වු රෝගි වු ප්‍රතිකාර ලබන සුනඛ,පුස්,ගව ආදි සතුන්ට කවන්න,පොවන්න,ඒ අයගේ පහසුකම් සපයන්න අපි මේ ගෙදර 100 ක් තරම් වු පිරිස කටයුතු කරනවා.අපේ දරුවන්ට සලකන ආකාරයට,අපේ දෙමාපියන්ට වැඩිහිටියන්ට සලකන ආකාරයට අපි මේ සත් කටයුත්ත සිදු කරනවා.

සුනාමිද,කොරෝනාවද,ගං වතුර ද,පායනවා ද,වහිනවා ද,ඇදිරි නීතීය ද,බඩු මිල ඉහළ ගියා ද,රටේ ඩොලර් නැති ද අපිට ප්‍රශ්ණයක් නෑ.අපි සුපුරුදු පරිදි මේ සුතුන්ට සලකනවා.කන්න දෙනවා.

මේ අපේ කාලයේ ගාල්ල, උනවටුන,මිහිරිපැන්න,සුනඛ ගෙදරට ආධාර පයන්නේ මරීනා මොබිස් ය.ඇය සතුන්ට ආදරය කරන අපේ කාලයේ අම්මාය. මේ මාතාව ජර්මනියේ ජීවත් වන්නීය.මේ සුනඛ ගෙදර පාලනය සිදුකරන්නේ බෙටීනා ෂ්ලූටර් (Bettina Schlüter) නම් වු යුවතියකි.ඇය අපේ කාලයේ තුරුණු තරුණ ළඳුනට ගරුත්වයකි.සමස්ත ලෝකවාසී තරුණ කාන්තා පරපුරටම ආඩම්බරයකි. අභිමානයකි.

ඉතිං සුනඛ ගෙදර කතාන්දරය එසේය. ඔබත් සතුටු සිතින් යුතුව තම ගෙදර සුරතල් සතුන් ඇති කරන්න.ඒ අය ගැන සොයන්න.ආදරය කරන්න. සුනඛ ගෙදර ඇත්තන්ගේ අවසන් අහිංසක ඉල්ලිම එයයි.

සටහන හා ඡායාරූප – හබරාදුව නිමල් අල්ගෙවත්ත

Leave a comment

Your email address will not be published. Required fields are marked *