පසුගිය වසරේ ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ල කළ ‘දිට්වා’ සුළි කුණාටු ව්‍යසනයෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ඉන්දියාව ලබාදුන් අමෙරිකානු ඩොලර් මිලියන 450ක සහන පැකේජය ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමට දෙරටේ එකඟතාව පළ වී තිබේ. කොළඹ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ කම්කරු අමාත්‍ය මෙන්ම මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අතර පැවති විශේෂ හමුවකදී මෙම තීරණයට එළැඹි බව ඉන්දීය මහ කොමසාරිස්වරයා X පණිවිඩයක් නිකුත් කරමින් තහවුරු කර ඇත.
පසුගිය වසරේ නොවැම්බර් මස බලපෑ මෙම බිහිසුණු සුළි කුණාටුවෙන් මිලියන තුනකට අධික පිරිසක් පීඩාවට පත්වූ අතර පුද්ගල මරණ 640කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ පසුබිමක ඉන්දියාව ‘සාගර් බන්දු’ මෙහෙයුම හරහා ශ්‍රී ලංකාවට සහාය වූ පළමු රට බවට පත් විය. ඉන්දියාව ලබාදෙන මෙම සහන පැකේජයට ඇමෙරිකානු ඩොලර් මිලියන 350ක සහනදායී ණය පහසුකම් සහ ඩොලර් මිලියන 100ක ප්‍රදානයන් ඇතුළත් වන අතර දැනට ක්‍රියාත්මක නිවාස, සෞඛ්‍ය, ජලය සහ යටිතල පහසුකම් ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී දෙපාර්ශවයේ අවධානය යොමු වී තිබේ.
මීට අමතරව නවීන මූල්‍ය රාමු සහ සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ද දෙරටේ නියෝජිතයන් අදහස් හුවමාරු කරගෙන ඇත. ‘සාගර් බන්දු’ මෙහෙයුම යටතේ ලැබෙන මෙම සුවිශාල සහන පැකේජය කඩිනම් කිරීම හරහා දිට්වා ව්‍යසනයෙන් බැටකෑ ජනතාවගේ ජීවනෝපාය සහ යටිතල පහසුකම් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.














