අසර්බයිජානයේදී අත්අඩංගුවට ගනු ලැබූ මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මනෝජ් සුරංග නොහොත් ‘බටුවත්තේ චාමර’ ඊයේ (10) රාත්‍රියේ දිවයිනට රැගෙන එනු ලැබුවා. 48 හැවිරිදි මොහු රාගම බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර දීර්ඝ කාලයක් ඩුබායි රාජ්‍යයේ සැඟවී සිට මීට වසරකට පමණ පෙර අසර්බයිජානය වෙත පළා ගොස් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා. අසර්බයිජානයේ සිට ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත රැගෙන ආ සැකකරු ඊයේ රාත්‍රී 10.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.
මෙරට තුළ සිදුවූ සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු ලෙස බටුවත්තේ චාමර හඳුනාගෙන තිබෙනවා. විශේෂයෙන්ම තුසිත හල්ලොලුව වෙත ප්‍රහාරයක් එල්ල කිරීම සහ ගනේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා ගිනිඅවි ලබා දීම ඇතුළු චෝදනා රැසක් ඔහුට එරෙහිව පවතිනවා. මීට අමතරව මෙරට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමේ ප්‍රධාන පෙළේ සැකකරුවෙකු ලෙසද මොහු පොලිසිය විසින් හඳුනාගෙන සිටි අයෙක්.
කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ බටුවත්තේ චාමර දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණා. ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට සහ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. දේශ සීමා ඉක්මවා ගොස් සැඟවී සිටින අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ සිදුකළ මෙම මෙහෙයුම මෙරට අපරාධ මර්දන ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකියි.














