ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය විසින් ප්‍රකාශයට පත් කරන ලද 400%ක අතිදැවැන්ත සිගරට් මිල ඉහළ නැංවීම, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නිර්දේශ කරනු ලබන “සිල්ලර මිලෙන් 75%ක් බදු වශයෙන් පැවතිය යුතුයි” යන ජාත්‍යන්තර දර්ශකය මුළුමනින්ම සපුරාලීමට සහ ඊටත් එහා ගිය දැඩි සෞඛ්‍ය ආරක්ෂණ මට්ටමක් කරා ළඟාවීමට සමත්ව ඇති බව මූල්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මෙමඟින් ඉන්දියාව රාජ්‍ය ආදායම් ඉපැයීමට වඩා මහජන සෞඛ්‍යය සුරැකීමේ ජාත්‍යන්තර ප්‍රමිතීන් සෘජුවම අභිබවා ගොස් තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ FCTC ප්‍රඥප්තියට අනුව සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කිරීම සඳහා අවම වශයෙන් 75%ක බදු ප්‍රතිශතයක් පවත්වා ගත යුතු වුව ද, ශ්‍රී ලංකාව මේ වන විට එම දර්ශකයෙන් බරපතල ලෙස පහළ බැස ඇත. ලංකාව 2018 වසරේදී 74%ක අගයක් පවත්වා ගනිමින් WHO ප්‍රමිතියට ඉතා ආසන්නව සිටිය ද, 2026 වසර වන විට එය 66.8% දක්වා කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති අතර, ඒ හේතුවෙන් රජයට වසරකට අහිමි වන ආදායම රුපියල් කෝටි 1,730ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. මෙරට බලධාරීන් සිගරට් සමාගම්වල ලාභ වර්ධනය වීමට ඉඩ හරිමින් බදු ප්‍රතිශතයන් ලිහිල් කරද්දී, අසල්වැසි ඉන්දියාව සිගරට් මිල 400%කින් ඉහළ නංවමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ 75% සීමාව ද ඉක්මවා ගොස් තාරුණ්‍යය ඇබ්බැහියෙන් මුදාගැනීමට ගත් ක්‍රියාමාර්ගය සමස්ත දකුණු ආසියානු කලාපයටම කදිම ප්‍රතිපත්තිමය පාඩමක් බව ආර්ථික හා සෞඛ්‍ය විශේෂඥයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.
















