නේපාලයට බලපෑ ක්ෂණික ගංවතුර තත්ත්වයෙන් පසු එරට සිදු කෙරෙන විශේෂිත මුදාගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා සහාය වීම පිණිස 11 දෙනෙකුගෙන් යුත් ඉන්දීය විශේෂඥ කණ්ඩායමක් නේපාලය වෙත පැමිණ තිබේ.
පුද්ගලයන් රැසකට ජීවිත අහිමි කරමින් නේපාලයේ මධ්‍යම ප්‍රදේශවලට බලපෑ මෙම බිහිසුණු ක්ෂණික ගංවතුර උවදුර හේතුවෙන් තවත් පිරිසක් අතුරුදහන්ව ඇති අතර, ඔවුන් සෙවීමේ සහ මුදාගැනීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
නේපාල රජය කළ ඉල්ලීමකට අනුව යවන ලද මෙම ඉන්දීය කණ්ඩායමට වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ උමං මාර්ග (Tunnels) තුළ සිදු කෙරෙන සංකීර්ණ මුදාගැනීමේ මෙහෙයුම් පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති නිලධාරීන් ඇතුළත් වන බව ඉන්දීය තනාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. ගංවතුරින් දැඩි ලෙස හානියට පත් ප්‍රදේශවල සහ ජල විදුලි ව්‍යාපෘති ආශ්‍රිත උමං මාර්ගවල සිරවී සිටින පුද්ගලයන් මුදාගැනීමට මෙම කණ්ඩායම විශේෂයෙන් දායක වීමට නියමිතය.
මෙම ස්වාභාවික ව්‍යසනයෙන් ජනාවාස, මාර්ග, පාලම් මෙන්ම ප්‍රධාන ජල විදුලි යටිතල පහසුකම් රැසකටද දැඩි හානි සිදුව ඇති අතර, ගමනාගමනය ඇනහිට ඇති ප්‍රදේශවල ප්‍රවාහන සබඳතා නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා බේලි වර්ගයේ තාවකාලික පාලම් ඉදි කිරීමටද නේපාලය විසින් ඉන්දියාවෙන් සහ චීනයෙන් සහාය ඉල්ලා ඇත.















