ඉන්දුනීසියාවේ ‘Mayong Kidul’ ගම්මානයේ පිහිටි නිවසක සේවයට පැමිණි පළමු දිනයේදීම ඉන්දුනීසියානු රූපියා මිලියන 15 කට ආසන්න මුදලක් සොරාගෙන ගෘහසේවිකාවක පළාගොස් ඇති බව එරට වාර්තා සඳහන් කරයි. ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ හඳුනාගත් අදාළ කාන්තාව සමඟ ගෘහසේවය සඳහා ගිවිසා ගැනීමෙන් පසු ඇය පසුදින අදාළ නිවසට පැමිණ ඇති අතර, නිවැසියන් පිටතට ගිය අවස්ථාවකින් ප්‍රයෝජන ගනිමින් මෙම සොරකම සිදු කර තිබේ.
නිදන කාමරය පිරිසිදු කරන මුවාවෙන් එහි තිබූ මුදල් සොරාගෙන ඇගේ ඇඳුම් අතර සඟවාගත් සැකකාරිය, බඩු බාහිරාදිය රැගෙන ඒමට නිවසට යන බව පවසා එතැනින් පිටව ගොස් ඇත. පසුව මුදල් අතුරුදන්ව ඇති බව දැනගත් නිවැසියන් ආරක්ෂිත කැමරා (CCTV) පරීක්ෂා කිරීමේදී ඇය විසින් මෙම සොරකම සිදුකරන ආකාරය අනාවරණය වී ඇති අතර, ඇය ලබාදී තිබූ හැඳුනුම්පතද ව්‍යාජ එකක් බව පොලිස් පරීක්ෂණ මඟින් හෙළි වී තිබේ.
ඇය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද ඇගේ දුරකථනය ක්‍රියා විරහිත කර සමාජ මාධ්‍ය ගිණුම්ද අක්‍රිය කර ඇති බැවින් ඇය මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පවත්වන පොලිසිය, සමාජ මාධ්‍ය ඔස්සේ රැකියා ලබාදීමේදී සහ පුද්ගලයන් බඳවා ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස ජනතාවට අවවාද කර ඇත.
















