ඉන්දියාවේ ඡන්ද ලැයිස්තු යාවත්කාලීන කිරීමේදී භාවිත කරන මෘදුකාංගය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකිරීමට ඉන්දීය මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ ඡන්ද ලැයිස්තු වෙනස්කම් හේතුවෙන් මිලියන ගණනක ඡන්දදායකයින් ලැයිස්තුවෙන් ඉවත් වී ඇති බවට පුවත්පත් වාර්තාවක් පළවීමෙන් පසුවය. එම වාර්තාවට අනුව, මැතිවරණ කොමසාරිස්වරුන් දෙදෙනෙකු විසින් ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ග්‍යානේෂ් කුමාර්ගෙන් අවස්ථා 14කදී පමණ ඡන්ද ලැයිස්තු යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ප්‍රශ්න හෝ කරුණු ඉදිරිපත් කර තිබේ.
ඉන්දියාවේ විපක්ෂ දේශපාලන පක්ෂ චෝදනා කරන්නේ ඡන්ද ලැයිස්තු වෙනස්කම් මගින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට වාසි වන ආකාරයෙන් ලැයිස්තු හසුරුවා ඇති බවයි. කෙසේ වෙතත්, ඉන්දීය මැතිවරණ කොමිසම එම චෝදනා පිළිගෙන නොමැති අතර, ආයතනය තුළ පවතින මතභේද සාමාන්‍ය කරුණු බවත් තම ක්‍රියාමාර්ග නීත්‍යානුකූල බවත් සඳහන් කර තිබේ.
මැතිවරණ කොමිසම පවසන්නේ ජ්‍යෙෂ්ඨ මැතිවරණ නිලධාරියෙකුගේ ප්‍රධානත්වයෙන් සහ ස්වාධීන තාක්ෂණික විශේෂඥයෙකුද ඇතුළත් කමිටුවක් මගින් අදාළ මෘදුකාංගය මැතිවරණ නීති හා රෙගුලාසිවලට අනුකූලද යන්න පරීක්ෂා කරන බවයි. ඡන්ද ලැයිස්තුවේ දත්ත සම්බන්ධයෙන් ගැටලු හඳුනාගත් ඡන්දදායකයින්ගේ නිවෙස් වෙත ප්‍රාදේශීය නිලධාරීන් යොමු කිරීමටද තීරණය කර ඇති බව වාර්තා වේ.














