මිට්සුබිෂි මෝටර්ස් (Mitsubishi Motors) සමාගම විසින් අමෙරිකා එක්සත් ජනපදය තුළ අලෙවි කරන ලද රථවාහන 108,046ක් යළි කැඳවීමට (Recall) පියවර ගෙන තිබේ. එම රථවාහනවල පසුපස දොරෙහි (Liftgate) පවතින කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බව හඳුනා ගැනීම මීට හේතුවයි. අමෙරිකානු ජාතික මහාමාර්ග රථවාහන සුරක්ෂිතතා පරිපාලනය (NHTSA) අද (24) මේ පිළිබඳව නිල වශයෙන් නිවේදනය කළේය.
මෙම දෝෂය ප්‍රධාන වශයෙන් මිට්සුබිෂි Outlander සහ Outlander Hybrid SUV මාදිලියේ රථවාහන සඳහා බලපාන බව සඳහන් වේ. එම රථවල පසුපස දොර විවෘතව තබා ගැනීමට උපකාරී වන ‘ගෑස් ස්ප්‍රින් සිලින්ඩර’ (Gas spring cylinder) පිපිරීමට ලක්වීමේ හෝ හදිසියේ දොර පහතට වැටීමේ අවදානමක් පවතින අතර, එමඟින් වාහන පරිශීලකයන්ට තුවාල සිදුවිය හැකිය. මෙයට පිළියමක් ලෙස අදාළ සියලුම රථවාහන සඳහා නව උපාංග නොමිලේ සවිකර දීමට මිට්සුබිෂි සමාගම එකඟ වී තිබේ.














