ඉන්දියාවේ නිෂ්පාදිත පළමු දේශීය මානව පැපිලෝමා වෛරස (HPV) එන්නත වන Cervavac සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) පූර්ව සුදුසුකම් (Prequalification) හිමිව තිබේ.
ඒ අනුව මෙම එන්නත එක්සත් ජාතීන්ගේ ආයතන මගින් මිලදී ගැනීමට සුදුසුකම් ලබා ඇති අතර, එය ගෝලීය වශයෙන් HPV ආශ්රිත රෝග සහ පිළිකා වැළැක්වීමේ වැඩසටහන් සඳහා භාවිත කිරීමට අවස්ථාව සැලසී තිබේ.
Serum Institute of India ආයතනය විසින් නිෂ්පාදනය කරන Cervavac එන්නත වයස අවුරුදු 9ත් 26ත් අතර ගැහැනු සහ පිරිමි දෙපාර්ශ්වයටම ලබාදිය හැකි එන්නතක් වන අතර HPV වර්ග 6, 11, 16 සහ 18ට එරෙහිව ආරක්ෂාව සපයයි.
HPV 6 සහ 11 වර්ග ලිංගික ඉන්නන් සමඟ සම්බන්ධ වන අතර, HPV 16 සහ 18 වර්ග ගැබ්ගෙල ඇතුළු පිළිකා කිහිපයකට සම්බන්ධ ඉහළ අවදානම් වර්ග ලෙස සැලකේ.
Serum Institute පවසන පරිදි වයස අවුරුදු 9ත් 14ත් අතර දරුවන්ට මාත්‍රා දෙකක් මාස හයක පරතරයකින් ලබාදිය යුතු අතර, වයස අවුරුදු 15ත් 26ත් අතර පුද්ගලයන්ට මාත්‍රා තුනක් ලබාදිය යුතුය.
Cervavac එන්නත ඉන්දියාවේ භාවිතය සඳහා මීට පෙර එරට ඖෂධ පාලක ජනරාල්වරයාගේ අනුමැතිය ලබාගෙන තිබූ අතර, WHO පූර්ව සුදුසුකම් ලැබීමත් සමඟ එය එක්සත් ජාතීන්ගේ ආයතන හරහා මිලදී ගැනීමට හැකියාව ලැබී තිබේ.














