ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති සුගීශ්වර ගුණරත්න මහතා සිය අක්තපත්‍ර ලිපිය ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා වෙත පිළිගැන්වීමෙන් අනතුරුව එලිසේ මාලිගයේදී ඔහු හමුවී තිබේ.
එහිදී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සුබ පැතුම් ප්‍රංශ ජනාධිපතිවරයා වෙත පිරිනමා ඇති අතර, ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර පවතින දිගුකාලීන සබඳතා පිළිබඳවද සාකච්ඡා කර තිබේ.
දේශපාලන, ආර්ථික, වෙළෙඳ, සාගරික සහ සංස්කෘතික ක්ෂේත්‍ර ඇතුළු දෙරට අතර සහයෝගිතාව තවදුරටත් පුළුල් කිරීම මෙන්ම බහුපාර්ශ්වික වේදිකා ඔස්සේ සහයෝගයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ උනන්දුව තානාපතිවරයා විසින් ප්‍රකාශ කර ඇත.
ප්‍රංශ ජනාධිපතිවරයාද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා, රජය සහ ජනතාව වෙත සිය සුබ පැතුම් පළ කරමින් දෙරට අතර සබඳතා සහ බහුවිධ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ප්‍රංශයේ කැපවීම තහවුරු කර තිබේ.
2023 ජූලි මාසයේදී ජනාධිපති මැක්‍රොන් ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරය දෙරටේ සබඳතා යළි සක්‍රීය කිරීමට වැදගත් පියවරක් වූ බවද දෙපාර්ශ්වය විසින් අවධාරණය කර තිබේ.
තානාපති සුගීශ්වර ගුණරත්න මහතා ඔක්තෝබර් 5 වැනිදා එලිසේ මාලිගයේදී ජනාධිපති මැක්‍රොන් මහතා වෙත සිය අක්තපත්‍ර ලිපිය නිල වශයෙන් භාරදී තිබේ.














