ඉන්දියාව සහ මොරොක්කෝව අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම අමෙරිකානු ඩොලර් බිලියන 4ක සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.
සාම්ප්‍රදායික වෙළෙඳාමෙන් ඔබ්බට යමින් අධ්‍යාපනය, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණය සහ තාක්ෂණික සහයෝගිතාව ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ දෙරට අතර සබඳතා වර්ධනය වී තිබේ. මොරොක්කෝවේ ඉන්දීය තානාපති සංජේ රානා ප්‍රකාශ කර ඇත්තේ, ආරක්ෂක සහ කාර්මික ක්ෂේත්‍රවල සහයෝගිතාව තවදුරටත් පුළුල් කිරීම සඳහා මේ වන විට ඉහළ මට්ටමේ සාකච්ඡා පවත්වමින් සිටින බවයි.
වසර 2020 වන විට ඩොලර් බිලියන 2ක සීමාවට ආසන්නව පැවති මෙම වෙළෙඳපොළ, කොවිඩ් වසංගතයෙන් පසු 2022 වන විට ඩොලර් බිලියන 4කට ආසන්න වූ අතර, වර්තමානය වන විට එය ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික වශයෙන් මෙන්ම රැකියා උත්පාදනය සඳහා ද තීරණාත්මක සාධකයක් වී තිබේ.
මොරොක්කෝව ඉන්දියාවෙන් ඛනිජ තෙල්, ඉලෙක්ට්‍රොනික උපකරණ, මෝටර් රථ, ඖෂධ, කෝපි, රසායනික නිෂ්පාදන සහ සහල් ආනයනය කරන අතර, පොහොර, කැල්සියම් ෆොස්ෆේට්, ඇලුමිනියම්, තඹ සහ කඩදාසි නිෂ්පාදන ඉන්දියාවට අපනයනය කරනු ලබයි.
















