ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෑතකාලීන නවසීලන්ත සංචාරයට සමගාමීව, ඉදිරි වසර 15ක කාලසීමාව තුළ ඉන්දියාවේ විවිධ ක්ෂේත්‍ර ඉලක්ක කරගනිමින් අමෙරිකානු ඩොලර් බිලියන 20ක ආයෝජනයක් සිදු කිරීමට නවසීලන්තය එකඟතාව පළ කර තිබේ. මෙය දෙරට අතර ඇති කරගත් සුවිශේෂී නිදහස් වෙළෙඳ ගිවිසුමේ (FTA) කොටසක් ලෙස ක්‍රියාත්මක වන අතර, දෙරටේ ආර්ථික සහ උපායමාර්ගික සහයෝගීතාව ඉහළ නැංවීම මෙහි අරමුණයි.
වසර 40කට පසු නවසීලන්තයේ සංචාරය කළ පළමු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස නරේන්ද්‍ර මෝදි මහතා සහ නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන් මහතා අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි ගිවිසුම් 10කට අත්සන් තැබිණි. මේ යටතේ කෘෂිකාර්මික, ආහාර තාක්ෂණ සහ නවීන තාක්ෂණික ක්ෂේත්‍රවලට ප්‍රමුඛතාව හිමිව ඇති අතර, ඉන්දීය පුහුණු ශ්‍රමිකයන් 5,000කට වාර්ෂිකව නවසීලන්තයේ රැකියා අවස්ථා ලබා දීමට ද දෙරට එකඟ වී ඇත.
















