දකුණු ඉරානය ඉලක්ක කරගනිමින් අමෙරිකාව දියත් කළ මිසයිල ප්‍රහාර මාලාවකින් සිවිල් වැසියන් 30 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බවත්, තවත් 260කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් ඉරාන රජයේ ප්‍රකාශිකා ෆාතිමා මොහොජෙරානි මහත්මිය නිවේදනය කරයි. මෙම ප්‍රහාරවලින් ඉරාන හමුදා සෙබළුන් 7 දෙනෙකු ද මියගොස් ඇති බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.
දකුණු ඉරානයේ නගර කිහිපයක් ඉලක්ක කරමින් මිසයිල 13ක් එල්ල කර ඇති අතර, ඉරාන ආරක්ෂක හමුදාව මෙම ප්‍රහාර දැඩි ලෙස හෙළා දකිමින්, ඊට නිසි ප්‍රතිචාර දක්වන බවට අනතුරු අඟවා ඇත. හෝමූස් සමුද්‍ර සන්ධියේ නෞකාවලට සහ කාර්ය මණ්ඩලයට එල්ලවන තර්ජන අවසන් වන තෙක් ප්‍රහාර අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අමෙරිකාවේ මධ්‍යම හමුදා අණදෙන මධ්‍යස්ථානය (CENTCOM) පවසයි. දැනට පස්වන දිනටත් ක්‍රියාත්මක වන මෙම ප්‍රහාර හමුවේ ඉරාන වරායන් ද අමෙරිකානු හමුදාව විසින් අවහිර කර තිබේ.
















