දෙරට අතර උපායමාර්ගික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මධ්‍යම ආසියාවට අයත් උස්බෙකිස්තානයේ සංචාරයක නිරත වී තිබේ. උස්බෙකිස්තාන අගනුවර වන ටෂ්කන්ට් වෙත පැමිණි මෝදි ප්‍රමුඛ ඉන්දීය නියෝජිත පිරිසට, එරට ජනාධිපති ෂව්කාට් මිර්සියෝයෙව් ප්‍රමුඛ රජයෙන් ඉතා උණුසුම් පිළිගැනීමක් හිමිව ඇත.
ඉන්දියාවේ න්‍යෂ්ටික බලශක්ති සැලසුම් තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, දීර්ඝකාලීනව උස්බෙකිස්තානයෙන් යුරේනියම් ලබා ගැනීමට සූදානම් වන අතර, මීට අදාළ විශේෂිත ගිවිසුමක් ද මෙම සංචාරයේ දී නායකයන් දෙදෙනා අතර අත්සන් කෙරුණි. ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව අත්සන් තَبුණු මෙම ගිවිසුම් කඩදාසිවලට පමණක් සීමා නොවී ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා පැහැදිලි මාර්ග සිතියමක් සකස් කළ යුතු බව අග්‍රාමාත්‍ය මෝදි මෙහිදී අවධාරණය කර ඇත.
මීට අමතරව, උස්බෙකිස්තානය දැනට ඉදිකරමින් පවතින ‘නව ටෂ්කන්ට්’ නගර ව්‍යාපෘතිය සඳහා ගුජරාටයේ ‘ගිෆ්ට් සිටී’ ආදර්ශයට ගන්නා ලෙසත්, ඒ පිළිබඳ අධ්‍යයනයකට එරට නියෝජිත පිරිසකට ඉන්දියාවට පැමිණෙන ලෙසත් ඉන්දීය අගමැතිවරයා ඇරයුම් කර තිබේ. දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම ප්‍රථම වතාවට ඩොලර් බිලියනය ඉක්මවා ඇති අතර, ඉන්දීය ජාතිකයන් සඳහා දින 30 දක්වා වූ වීසා රහිත ගමන් පහසුකම් ලබා දීමටද උස්බෙකිස්තානය තීරණය කර ඇත. උස්බෙකිස්තාන සංචාරය අවසන් කිරීමෙන් පසු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවට සහභාගී වීම සඳහා කිර්ගිස්තානයේ බිෂ්කෙක් නුවර බලා පිටත්ව ගොස් තිබේ.














