ඉන්දියාව සහ පෝලන්තය අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම 2030 වසර වන විට දෙගුණ කිරීමේ ඉලක්කයක් ප්රකාශයට පත් කර තිබේ. ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි සහ පෝලන්ත අග්රාමාත්ය ඩොනල්ඩ් ටුස්ක් අතර නවදිල්ලියේදී පැවැති සාකච්ඡාවලින් අනතුරුව මෙම එකඟතාවට එළඹ ඇත.
දෙරට අතර පතල් කර්මාන්තය, නෞකා නිෂ්පාදනය, බලශක්තිය, අභ්යවකාශ ක්ෂේත්රය සහ ආරක්ෂක තාක්ෂණය ඇතුළු ක්ෂේත්ර රැසක සහයෝගීතාව පුළුල් කිරීමටද නායකයන් දෙපළ එකඟ වී තිබේ.
වසර 16කට පසුව පෝලන්ත අග්රාමාත්යවරයකු ඉන්දියාවේ සිදුකළ පළමු සංචාරය මෙය බව සඳහන් වේ. මීට වසර දෙකකට පෙර නරේන්ද්ර මෝදි පෝලන්තයේ සිදුකළ සංචාරයේදී දෙරට අතර සබඳතා උපායමාර්ගික හවුල්කාරිත්වයක් දක්වා ඉහළ නංවා තිබිණි.
එම සංචාරයෙන් පසු දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය වී ඇති බව පෙන්වා දුන් පෝලන්ත අග්රාමාත්යවරයා, මෙවර සාකච්ඡා හරහා ආර්ථික, ආයෝජන සහ තාක්ෂණික සහයෝගීතාව ශක්තිමත් කිරීමට හැකි වූ බව සඳහන් කර ඇත.














