ශ්‍රී ලංකාවේ පවතින ඩෙංගු මර්දන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඉන්දියානු රජය විසින් මැලතියෝන් (Malathion) කෘමිනාශක තාක්ෂණික ලීටර් 500ක ප්‍රමාණයක් නොමිලේ ලබා දීමට පියවර ගෙන තිබේ.
මදුරුවන් මර්දනය සඳහා දැනට භාවිතා කරන ධූමායන (fogging) රසායනික ද්‍රව්‍ය ඇතැම් ප්‍රදේශවල මදුරුවන්ට එරෙහිව ප්‍රමාණවත් තරම් සාර්ථක නොවන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHIs) විසින් වාර්තා කිරීමෙන් අනතුරුව, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉන්දියානු රජයෙන් මැලතියෝන් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත.
මීට පෙර මැලේරියා මර්දන ව්‍යාපාරයේදී භාවිත කළ මෙම කෘමිනාශකය, ඩෙංගු මදුරුවන් මර්දනය සඳහා ගෘහස්ථ සහ එළිමහන් පරිශ්‍රයන්හි කෙතරම් දුරට සාර්ථකදැයි නියමු පරීක්ෂණයක් ලෙස පරීක්ෂා කිරීමට නියමිතය. අදාළ කෘමිනාශක තොගය ජූලි 26 වන දින දිවයිනට ළඟා වී ඇති අතර දැනට රේගු නිලධාරීන් විසින් එය නිදහස් කර ගැනීමේ කටයුතු සිදු කරමින් පවතී.
මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 82,011 ක් වාර්තා වී ඇති අතර මරණ 61 ක් සිදුව තිබේ. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ (17,395) සහ කොළඹ (16,294) දිස්ත්‍රික්කවලින් වාර්තා වන අතර, දිවයින පුරා ඩෙංගු අධිඅවදානම් කලාප 175 ක් හඳුනාගෙන ඇත.














