ඉන්දීය රුපියල ස්ථාවර කරමින් රට තුළට විදේශීය ඩොලර් ආකර්ෂණය කර ගැනීම සඳහා ඉන්දීය මහ බැංකුව (Reserve Bank of India) විසින් හඳුන්වා දුන් නව මූල්‍ය උපායමාර්ගය මේ වන විට දැවැන්ත සාර්ථකත්වයක් අත්කර ගෙන තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස දේශීය සමාගම් ඩොලර් බිලියන 3.24කට අධික ණය අරමුදල් ඉතා කෙටි කාලයක් තුළ රැස් කර ගැනීමට සමත් වී ඇත.
මෙම මූල්‍ය ක්‍රියාවලියේ ප්‍රධාන පියවරක් ලෙස, විදේශගත ඉන්දියානුවන් ඉලක්ක කර ගනිමින් හඳුන්වා දුන් FCNR(B) ස්ථාවර තැන්පතු සඳහා පවතින සම්පූර්ණ මුදල් ආවරණ පිරිවැය (Hedging Cost) මහ බැංකුව විසින් දැරීමට තීරණය කිරීම කැපී පෙනේ. 2026 සැප්තැම්බර් දක්වා ක්‍රියාත්මක වන මෙම ක්‍රමය යටතේ දේශීය වාණිජ බැංකුවලට පදනම් ලක්ෂ්‍ය 200කින් (2%) ඉහළ පොලී අනුපාත ලබා දීමට ඉඩ ලැබී ඇත. මෙම තැන්පතු ඇපයට තබා 7 සිට 10 ගුණයක ‘උත්තෝලන’ (Leverage) පහසුකම් ලබා දීම හරහා විදේශගත ඉන්දියානුවන්ට වාර්ෂිකව 17% සිට 27% දක්වා ඉහළ ප්‍රතිලාභයක් උපයා ගැනීමට අවස්ථාව උදාවී ඇත. එස්.බී.අයි (SBI) වැනි ප්‍රමුඛ බැංකු හරහා ඩොලර් බිලියන 40-45ක පමණ මුදලක් රට තුළට ගලා එනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මහ බැංකුවේ මෙම පියවර නිසා වෙළඳපොළ ද්‍රවශීලතාවය ඉහළ ගොස්, ආයතනික ණය ගැනීමේ පිරිවැය සහ බැඳුම්කර පොලී අනුපාත පදනම් ලක්ෂ්‍ය 40 සිට 45 දක්වා මට්ටමකින් පහත වැටී තිබේ. මෙය පසුගිය මැයි මාසයේ පැවති වසර හතක උපරිම පොලී මට්ටම්වලට සාපේක්ෂව විශාල සහනයකි. මෙම සතිය තුළ පමණක් බැංකු නොවන මූල්‍ය සමාගම් ප්‍රමුඛ ආයතන විසින් ඉන්දීය රුපියල් බිලියන 310කට (ඩොලර් බිලියන 3.24කට) අධික මුදලක් බැඳුම්කර නිකුත් කරමින් සාර්ථකව රැස් කරගෙන තිබේ. NABARD, REC, Bajaj Finance සහ L&T Finance වැනි ප්‍රමුඛ පෙළේ ආයතන ද ඉතා අඩු පොලී අනුපාත යටතේ අරමුදල් රැස් කිරීමට මේ වන විට යොමු වී ඇත.
ඉන්දීය මහ බැංකුවේ මෙම දූරදර්ශී පියවර, රුපියලේ අගය ස්ථාවර කිරීමට පමණක් නොව, දේශීය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලමින් රට තුළ ආර්ථික පිබිදීමක් ඇති කිරීමට ද දැඩි රුකුලක් වී තිබේ.
















