දෙණියාය මූලික රෝහල පවතින ස්ථානයේ පවතින භූ විද්‍යාත්මක අවදානම් හේතුවෙන් එය වඩාත් ආරක්ෂිත ස්ථානයකට ස්ථානගත කිරීමට සැලසුම් කර ඇති අතර, එම නව රෝහල සඳහා රුපියල් මිලියන 600ක පමණ වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළ කර තිබේ.
ඒ සඳහා අදාළ අවබෝධතා ගිවිසුම අද (13) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අත්සන් තැබිණි. මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගී විය. ගිවිසුම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අත්සන් තැබූහ.
ඉන්දීය රජයේ ‘දිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් ප්‍රතිසාධන ව්‍යාපෘතිය’ (Aftermath Cyclone of Ditwah Project) යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. මෙම උපකරණ සැපයීම මගින් දෙණියාය සහ අවට ප්‍රදේශවල ජනතාවට වඩාත් ගුණාත්මක, කාර්යක්ෂම සහ සුරක්ෂිත සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ හැකියාව ශක්තිමත් වනු ඇත.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, දෙරට අතර පවතින ශක්තිමත් මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් තහවුරු කරන සුවිශේෂී අවස්ථාවක් මෙය බවයි. ස්වාභාවික ආපදා අවදානම හේතුවෙන් නව ස්ථානයකට මාරු කෙරෙන දෙණියාය රෝහලට ඉන්දීය රජය ලබාදෙන මෙම මූල්‍ය දායකත්වය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලැබුණු විශාල සහයෝගයක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.














