ඉන්දියාවේ මිලියන සංඛ්‍යාත තරුණ ප්‍රජාවකගේ ආකර්ෂණය දිනාගත්, එරට විශාලතම අන්තර්ජාල තරුණ ව්‍යාපාරය වන “වෛරස් කැරපොත්තෝ ජනතා පක්ෂයේ” නිර්මාතෘ අභිජීත් දිප්කේ අද (06) නවදිල්ලියට පැමිණ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයට එරෙහිව දැවැන්ත වීදි විරෝධතාවක් ආරම්භ කර තිබේ. පසුගිය වසර දෙකක කාලය තුළ ඇමෙරිකාවේ ජීවත් වූ 30 හැවිරිදි අභිජීත් දිප්කේ, තමන් ඉන්දියාවට පැමිණි වහාම අත්අඩංගුවට පත්වීමේ අවදානමක් පවතින බවට පවුලේ අය තුළ තිබූ බිය මධ්‍යයේ මෙලෙස පැමිණීම විශේෂත්වයකි.
අද මධ්‍යම නවදිල්ලියේ ‘ජන්තර් මන්තර්’ විරෝධතා භූමිය අසලට රැස් වූ දහස් සංඛ්‍යාත තරුණ පිරිස්, මෑතකදී සිදුවූ විභාග ප්‍රශ්න පත්‍ර කාන්දු වීමේ සිදුවීම්වලට වගකිවයුතු අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් වහාම ඉල්ලා අස්විය යුතු බව පවසමින් සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වූහ. තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් විශාල පිරිසක් අවට මාර්ග අවහිර කරමින් ආරක්ෂාව තර කර තිබේ.
කෙටි කලකින් ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයින් මිලියන 22ක් රැස් කරගත් මෙම ව්‍යාපාරය, අගමැති මෝදිගේ වසර 12ක පාලන කාලය තුළ මුහුණ දෙන විශාලතම ඩිජිටල් තර්ජනය බවට පත්ව ඇත. මේ හේතුවෙන් මෝදි රජය විසින් මෙම ව්‍යාපාරයේ ‘X’ ගිණුම ඉන්දියාව තුළ අවහිර කිරීමට පියවර ගත් අතර, ඊට එරෙහිව කැරපොත්තෝ ජනතා පක්ෂය දිල්ලි අධිකරණය හමුවේ නඩු පවරා තිබේ. මේ අතර, ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍ය කිරේන් රිජිජු චෝදනා කර ඇත්තේ මෙම කණ්ඩායම පාකිස්ථානයෙන් සහ “ඉන්දියානු විරෝධී කල්ලියෙන්” සහාය ලබාගන්නා බවයි.
දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඉරාන යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම, ගෑස් හිඟය සහ 14%ක් දක්වා ඉහළ ගොස් ඇති නාගරික තරුණ විරැකියා අනුපාතය නිසා ජනතාව තුළ පවතින දැඩි කලකිරීම මෙම මහා තරුණ නැගිටීමට ප්‍රධානතම හේතුව වී ඇති බවයි.
















