රුපියල් මිලියන 108කට අධික වටිනාකමකින් යුතු කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සූක්ෂම ලෙස මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියෙකු අද (15) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු 60 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ජාතික භූවිද්‍යාඥයෙකු බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඔහු උගන්ඩාවේ කම්පාලා නුවර සිට දෝහා හරහා කටාර් ගුවන් සේවයට අයත් QR 664 දරන යානයෙන් අද උදෑසන 10.40ට මෙරටට පැමිණ ඇති අතර, මත්ද්‍රව්‍ය තොගය ‘හරිත මාවත’ (Green Channel) ඔස්සේ පිටතට රැගෙන යාමට උත්සාහ කර තිබේ. සැකකරු සතුව තිබූ සහතික පත්‍ර බහාලන ෆයිල් කවර දෙකක් තුළ ඉතා සූක්ෂම ලෙස අසුරා තිබූ කොකේන් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 150ක ප්‍රමාණයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත. ඉදිරි විමර්ශන කටයුතු සඳහා සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දීමට රේගු බලධාරීන් පියවර ගෙන තිබේ.
















