ශ්‍රී ලංකාව සහ බෙලරුස් රාජ්‍යය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 25ක් සපිරෙන මොහොතක, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ මහතා අතර විශේෂ හමුවක් බෙලරුස්හිදී පැවැත්විණි. දෙරටේ දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් වෙළඳාම, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය සහ සංචාරක ව්‍යාපාරය යන ක්ෂේත්‍ර නංවාලීම සඳහා පැහැදිලි මාර්ග සිතියමක් සකස් කිරීමට මෙහිදී නායකයින් එකඟතාව පළ කළහ. මෙම සංචාරය ද්විපාර්ශ්වික සබඳතාවල “නව පරිච්ඡේදයක” ආරම්භයක් ලෙස හැඳින්වූ අමාත්‍යවරයා, මෙරට ආර්ථිකයට සෘජු ප්‍රතිලාභ රැසක් අත්වන ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීය.
විශේෂයෙන්ම මෙම වසර අවසානය වන විට දෙරට අතර සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, එමගින් සංචාරක ක්ෂේත්‍රයේ නව පිබිදීමක් මෙන්ම බෙලරුස්හි ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ට මහඟු පහසුවක් සැලසෙනු ඇත. මීට අමතරව මැණික්, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සහ පොහොර වැනි අත්‍යවශ්‍ය අංශවල සහයෝගීතාව පුළුල් කිරීම හරහා දෙරටේ වෙළඳ සබඳතා වඩාත් ඉහළ මට්ටමකට රැගෙන යාමට අපේක්ෂා කෙරේ. ජනාධිපති ලූකෂෙන්කෝ මහතා ඇතුළු එරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ව්‍යාපාරික නියෝජිතයින් සමඟ පැවැත්වූ මෙම සාකච්ඡා මාලාව ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන ඉලක්ක ජයගැනීමට ශක්තිමත් අඩිතාලමක් වනු ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














