ශ්‍රී ලංකාවේ පවතින සුබවාදී ආයෝජන අවස්ථා කෙරෙහි අවධානය යොමු කරමින් රුපියල් කෝටි 990ක (අමෙරිකානු ඩොලර් මිලියන 30) ආයෝජන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය ආයෝජකයන් පිරිසක් එකඟතාව පළ කර තිබේ. චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ගනේෂ්නාදන් ගීතිස්වරන් මහතාගේ සෘජු මැදිහත්වීම මත මෙරටට පැමිණි ඉන්දීය විශේෂ දූත පිරිසක් විසින් මෙම කැමැත්ත පළ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කරයි.
මෙම සංචාරය අතරතුර ඉන්දීය දූත පිරිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව හා සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති ආචාර්ය මධුර සෙනෙවිරත්න මහත්වරුන් ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡා පවත්වා ඇත.
මෙහිදී දෙරට අතර ආයෝජන සහයෝගිතාව පුළුල් කිරීම, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වටපිටාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම සහ අනාගත හවුල්කාරිත්වයන් සඳහා වැදගත් වන අන්‍යෝන්‍ය ක්ෂේත්‍ර හඳුනාගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරි ව්‍යාපෘති ඇගයීම්වලට යටත්ව, ඩොලර් මිලියන 30ක විභව ආයෝජන කැපවීමක් සිදු කිරීමට ඉන්දීය ව්‍යාපාරිකයන් ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණ ඇත.
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික සංවර්ධන මුලපිරීම් පිළිබඳව ඉන්දීය ආයෝජකයන් දැනුවත් කිරීම මෙම සංවාදයේ මූලික අරමුණ වූ අතර, මෙම ක්‍රියාවලිය හරහා දෙරට අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.
















