ග්‍රාමීය ව්‍යවසායකයා ජාතික ආර්ථිකයේ සක්‍රිය කොටස්කරුවකු බවට පත් කිරීම රජයේ සේවා හා ආධාරක මධ්‍යස්ථාන පිහිටුවීමේ ප්‍රධාන ඉලක්කය බව විද්‍යා හා තාක්ෂණ ඇමැති මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ප්‍රකාශ කළේය.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය මඟින් රාජ්‍ය විශ්වවිද්‍යාල ආශ්‍රිතව සේවා හා ආධාරක මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහන යටතේ, එහි තුන්වැනි මධ්‍යස්ථානය මඩකලපුව නැඟෙනහිර විශ්වවිද්‍යාලයේදී පසුගියදා (4) විවෘත කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. විද්‍යා හා තාක්ෂණ ඇමැති මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.
නැඟෙනහිර පළාතේ විශ්වවිද්‍යාලයීය පර්යේෂණ, නවෝත්පාදන මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යවසායකයන් අතර ශක්තිමත් සම්බන්ධතාවක් ගොඩනඟමින්, ආහාර තාක්ෂණ ක්ෂේත්‍රයේ කලාපීය ව්‍යවසායකත්වය නැංවීම මෙම මධ්‍යස්ථානයේ මූලික අරමුණයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති ක්‍රිෂාන්ත අබේසේන මහතා,
“ග්‍රාමීය ප්‍රදේශවල ව්‍යවසායකයන්ට තමන්ගේ නිෂ්පාදන පරීක්ෂා කරගැනීමට දැන් කොළඹට පැමිණීමට අවශ්‍ය නැහැ. උපාධි අපේක්ෂකයන්ට මෙන්ම ව්‍යවසායකයන්ට අවශ්‍ය නවීන පර්යේෂණාගාර පහසුකම්, ප්‍රාග්ධන මඟපෙන්වීම් සහ නිෂ්පාදනය වාණිජකරණය දක්වා සියලු සහාය මේ හරහා නොමිලේ ලැබෙනවා. මෙමඟින් දළ දේශීය නිෂ්පාදිතය (GDP) ඉහළ නැංවීමට ග්‍රාමීය නිෂ්පාදන දායක කරගන්නා අතරම, ඉදිරියේදී අධ්‍යාපනය වෙනුවෙන් GDP එකෙන් 6%ක ප්‍රතිශතයක් වෙන් කිරීමට ද රජය ක්‍රමානුකූලව පියවර ගන්නවා.” යැයි පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ, රටේ වත්මන් ආර්ථික සංවර්ධන අවශ්‍යතාවලට ගැළපෙන කුසලතා පූර්ණ උපාධිධාරීන් බිහිකිරීමට මෙම මධ්‍යස්ථානය විශාල පිටුවහලක් වන බවයි. ව්‍යවසායකයන් වීමට කැමැත්තක් දක්වන උපාධිධාරීන්ට කැපවීමෙන් වැඩ කිරීම සඳහා වත්මන් රජය යටතේ පුළුල් අවස්ථා නිර්මාණය කර ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
















