ඉන්දියානු නාවික හමුදාවට අයත් INS සාගර් යුද නෞකාව මිත්‍රශීලී රටවල් අතර සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් අද (15) කොළඹ වරායට සේන්දු විය. මෙම සංචාරය ඉන්දියානු සාගර කලාපයේ රටවල් අතර නාවික සබඳතා ශක්තිමත් කිරීමේ විශේෂ මෙහෙයුමක කොටසක් ලෙස සැලකේ.
අප්‍රේල් 02 වැනිදා මුම්බායි වරායෙන් පිටත්ව ඇති මෙම නෞකාව තුළ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මාලදිවයින, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, දකුණු අප්‍රිකාව සහ සිංගප්පූරුව ඇතුළු රටවල් 16ක නිලධාරීන් සහ නාවිකයන්ගෙන් සමන්විත බහුජාතික පිරිසක් පුහුණුව ලබති.
මෙම සංචාරය අතරතුර නාවික ශිල්පය, සන්නිවේදන ක්‍රමවේද, මුහුදේදී ජීවිත ආරක්ෂා කිරීම, ගිනි නිවීම සහ හානි පාලනය වැනි අත්‍යවශ්‍ය නාවික පුහුණුවීම් සිදු කිරීමට නියමිතය. මීට අමතරව මුහුදේදී සැකකටයුතු යාත්‍රා පරීක්ෂා කිරීම සහ අත්අඩංගුවට ගැනීම වැනි විශේෂිත මෙහෙයුම් පිළිබඳව ද මෙහිදී අත්දැකීම් හුවමාරු කර ගනු ලබයි.
මෙම ඒකාබද්ධ මෙහෙයුම කලාපීය ආරක්ෂාව සහ නාවික සහයෝගීතාව ඉහළ නැංවීමට මහඟු දායකත්වයක් සපයනු ඇතැයි නාවික අංශ විශ්වාසය පළ කරයි.














