ඉන්දුනීසියාවේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් ඇතිවන දුමාරය සිංගප්පූරුව පුරා පැතිර යාමත් සමඟ එරට වායු දූෂණ මට්ටම සෞඛ්‍යයට අහිතකර මට්ටමකට ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිංගප්පූරුවේ ප්‍රදේශ පහම අහිතකර වායු තත්ත්වයක් වාර්තා කර ඇති අතර, 2019 සැප්තැම්බර් මාසයෙන් පසු එවැනි තත්ත්වයක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බව සිංගප්පූරු ජාතික පරිසර ඒජන්සිය සඳහන් කර තිබේ.
IQAir දත්ත අනුව මේ වනවිට සිංගප්පූරුව ලොව වායු දූෂණය වැඩිම නගර 10 අතරට පැමිණ ඇති අතර, මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ අගනුවරවල්ද එම ලැයිස්තුවේ ඉහළ ස්ථානවල පවතින බව වාර්තා වේ.
ඉන්දුනීසියාව සෑම වසරකම වියළි කාලයේදී ලැව්ගිනි තත්ත්වයට මුහුණ දෙන නමුත්, මෙම වසරේ ලැව්ගිනි උණුසුම් ස්ථාන සංඛ්‍යාව සාමාන්‍යයට වඩා ඉහළ මට්ටමක පවතින බව සඳහන් වේ.
ඉන්දුනීසියානු වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ගිනි නිරීක්ෂණ වේදිකාව වන SiPongi අනුව, අගෝස්තු මාසයේදී ලැව්ගිනි උණුසුම් ස්ථාන 9,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. 2015 වසරේ සිට එම මාසය සඳහා වාර්තා වූ ඉහළම සංඛ්‍යාව එය බව සඳහන් වේ.
එමෙන්ම සැප්තැම්බර් මාසයේ මේ දක්වාද උණුසුම් ස්ථාන 7,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව වාර්තා වේ.
මේ අතර, ශක්තිමත් වෙමින් පවතින එල් නිනෝ කාලගුණ රටාව හේතුවෙන් කලාපයේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් උග්‍ර වී ඇති බව සඳහන් වේ.
ASEAN විශේෂිත කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ, දකුණු අග්නිදිග ආසියාවේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණ තත්ත්වය ඉදිරි කාලයේදීත් පවතිනු ඇති බවයි.
ඒ අනුව ඉන්දුනීසියාවේ ලැව්ගිනි සහ එමඟින් ඇතිවන දුමාරය හේතුවෙන් සිංගප්පූරුව ඇතුළු කලාපයේ රටවල් කිහිපයක වායු තත්ත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමුව තිබේ.














