27 April 2024
#සංවර්ධන

ආහාර ආශ්‍රිත නව නිපැයුම් හා පර්යේෂණ වානිජකරණය කිරීමේ කර්මාන්ත අමාත්‍යංශ ක්‍රියාන්විතය අරඹයි

මෙරට ආහාර නිෂ්පාදන කර්මාන්තය ආශ්‍රිත නවෝත්පාදන හා පර්යේෂණ වානිජකරණය කිරීමේ අරමුණෙන් කර්මාන්ත අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරුණු විශේෂ වැඩසටහන ඊයේ (30) බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී ආරම්භ කෙරිණ.

එහි සමාරම්භය කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

සැකසු ආහාර සහ පාන වර්ග පිළිබඳව මෙරට විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතන විසින් පර්යේෂණ, සොයා ගැනීම් සහ නව නිපැයුම් සිදු කර තිබුනද ඒවා නිෂ්පාදනයක් විදියට වාණිජකරණයවී ඇත්තේ ඉතාමත් අඩු මට්ටමක වීම නිසා කර්මාන්ත අමාත්‍යංශය වර්ථමානයේ රටේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් ඉටුකරමින් ආහාර නිෂ්පාදන අංශයට අයත් පර්යේෂණ හා නව නිපැයුම් වානිජකරණය කිරීමේ අරමුණෙන් ස්ථිරසාරවූ ඉදිරි පියවරක් ලෙසින් මෙම වැඩසටහන සංවිධානය කොට තිබුණි.

එමගින් ආහාර නිෂ්පාදන කර්මාන්තය ආශ්‍රිත නවෝත්පාදනයන් , ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් හා සම්බන්ධ කොට දෙමින් ආහාර නිෂ්පාදන අංශයේ කාර්යක්ෂමතාව හා ඵලදායිතාවය වැඩිවන අයුරින් වානිජකරණයට ලක් කොට අපනයන වෙළෙඳපොළ පුළුල් කිරීම කර්මාන්ත අමාත්‍යංශයේ අපේක්ෂාව වෙයි.

එහිදී කර්මාන්ත අමාත්‍යවරයා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ වැවිලි හා කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රය යටතේ විවිධ ආහාර නිෂ්පාදන කාර්යාවලියන්හිදී අගය එකතු කිරීමේ ක්‍රියාවලීන් මෙන්ම නවෝත්පාදනයන් පිළිබඳවද රටක් ලෙස අප වැඩි අවධානය යොමු කළ යුතු බවයි.

එමෙන්ම එලෙස සිදුකරන අගය එකතු කිරීම් හෝ නවෝත්පාදනයන් ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් වානිජකරණයට ලක්කිරීම කලයුතු වීම ඉලක්කගත අපනයන ආදායම් වැඩිකරගැනීම වෙනුවෙන් අත්‍යාවශ්‍යම කාර්යයක් බවත් අමාත්‍යවරයා සදහන් කළේය. ඒ වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යංශය විසින් ගෙන ඇති මෙම ඉදිරි පියවර පිළිබඳව සිය ප්‍රශංසාව එක්කළ අමාත්‍යවරයා රටක් ලෙස ජාත්‍යන්තර වෙළෙඳපොළ තත්වයන් අවබෝධ කොටගනිමින් මෙරට නිෂ්පාදනයන් ඒ වෙනුවෙන් සිදුකල යුතු බවත් පෙන්වා දුන්නේය. රජයක් ලෙස ඒ වෙනුවෙන් උපරිම පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවද වැඩිදුරටත් අමාත්‍යවරයා සදහන් කළේය.

මෙම ආහාර ආශ්‍රිත නව නිපැයුම් හා පර්යේෂණ වානිජකරණය කිරීමේ කර්මාන්ත අමාත්‍යංශ ක්‍රියාන්විතය සදහා වැවිලි කර්මාන්ත , කෘෂි කර්මාන්ත, අධ්‍යාපන ඇතුළු අමාත්‍යංශයන් රැසක්, විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන, ශ්‍රී ලංකා ආහාර විද්‍යා හා තාක්ෂණ ආයතනය, ආහාර සම්බන්ධ අමාත්‍යංශ උපදේශක කමිටුව , ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය ආදී පාර්ශ්ව රැසක සාමූහිකත්ව ශක්තිය ලබාදෙයි.

මාර්තු 30 , 31 දෙදින පුරාම පැවැත්වෙන මෙම වැඩසටහන තුළ විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ තෝරාගනු ලැබු ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රය ආශ්‍රිත පර්යේෂකයන් හා නවෝත්පාදකයන් 76 දෙනෙකු විසින් ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් 200ක් වෙනුවෙන් සිය නව ආහාර නිෂ්පාදනයන් පිළිබඳව පර්යේෂණයන් සහ ක්‍රමවේදයන් ඉදිරිපත් කිරීම සිදුකරයි.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර , අතිරේක ලේකම්වරුන් ඇතුළු නිළධාරින් , වැවිලි කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ජානක ධර්මකීර්ති ඇතුළු නිළධාරින් , ශ්‍රී ලංකා ආහාර විද්‍යා හා තාක්ෂණ ආයතනයේ සභාපති මහාචාර්ය නිරංජලී පෙරේරා , විශ්ව විද්‍යාලය ආචාර්ය, මහාචාර්යවරුන් ඇතුළු විද්වතුන් , ආහාර සම්බන්ධ අමාත්‍යංශ උපදේශක කමිටුවේ සභාපති මලික් ද අල්විස් , ආහාර සම්බන්ධ නිෂ්පාදන කර්මාන්ත ආයතනයන්හි ප්‍රධානීන් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *