ලොව පුරා වාර්තා වන නව පිළිකා රෝගීන්ගෙන් මිලියන ගණනකට හේතුවී ඇත්තේ වළක්වා ගැනීමට හෝ පහසුවෙන් ප්‍රතිකාර කර සුවපත් කිරීමට හැකි ආසාදනයන් බවත්, එමගින් අදාළ පිළිකා වැළඳීම සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමේ හැකියාව පවතින බවත් නවතම පර්යේෂණයකින් හෙළි වී ඇති බව CNN පුවත් සේවය පවසයි.
ලෝකප්‍රකට ‘The Lancet Oncology’ වෛද්‍ය සඟරාවේ පළ වූ මෙම අධ්‍යයනයට අනුව, ලොව පුරා වාර්තා වන පිළිකා රෝගීන් අටදෙනෙකුගෙන් එක් අයෙකුගේ (12%) පිළිකා තත්ත්වයට හේතුවී ඇත්තේ විවිධ ආසාදනයන්ය. එන්නත් ලබාදීම, පූර්ව පරීක්ෂණ (screening) සිදු කිරීම හෝ සරල වෛද්‍ය ප්‍රතිකාර මගින් මෙම ආසාදන බොහොමයක් වළක්වා ගැනීමට හැකියාව පවතින බව එහි සඳහන් වේ.
2024 වසරේදී පමණක් ලොව පුරා නව පිළිකා රෝගීන් මිලියන 2.3 ක් මෙලෙස ආසාදන නිසා ඇතිවී ඇති අතර, ප්‍රධාන වශයෙන් H. pylori සහ HPV යන ආසාදන හේතුවෙන් පමණක් මිලියන 1.5 කට අධික පිරිසකට පිළිකා වැළඳී ඇති බව පර්යේෂකයෝ පෙන්වා දෙති. සෞඛ්‍ය වැඩසටහන් නිසි ලෙස ක්‍රියාත්මක කිරීම හරහා රෝගය පිළිකාවක් දක්වා වර්ධනය වීමට පෙර එය වළක්වා ගත හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.














