යුක්රේනයේ ඊසානදිග කාර්කිව් නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයකට රුසියානු හමුදාව එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 53 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට නිලධාරීහු පවසති.
ප්‍රදේශයේ ආණ්ඩුකාර ඔලේ සිනියුබොව් ප්‍රකාශ කර ඇත්තේ නගරයේ විවිධ ප්‍රදේශ වෙත බෝම්බ තුනක් පතිත වී ඇති බවත්, තුවාල ලැබූවන් අතර දරුවන් තිදෙනෙකුද වන බවත්ය. ප්‍රහාරය හේතුවෙන් නිවාස සංකීර්ණ රැසක මුහුණත සහ බැල්කනි දැඩි ලෙස විනාශ වී ඇති අතර, ගලවා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් ක්‍රියාත්මක කර තිබේ. රුසියානු දේශසීමාවට කිලෝමීටර 30ක් පමණ දුරින් පිහිටි කාර්කිව් නගරය, 2022 පෙබරවාරි මාසයේ යුද්ධය ආරම්භ වූ අවස්ථාවේ සිටම නිරන්තර ප්‍රහාරයන්ට ලක්වෙමින් පවතී.














